1. 2. 9.
බාලපණ්ඩිත සූත්‍රය
19. සැවැත්නුවර–
මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ බාලයාගේ මේ කය මෙසේ හටගත්තේ ය. මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හෝ මෙයින් එක්තරා එකකින් හො පහස්නා ලද බාල තෙමේ සුවදුක් විඳී.
මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ පණ්ඩිතයාගේ මේ කය මෙසේ හටගත්තේ ය මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හො මෙයින් එක්තරා එකකින් හෝ පහස්නා ලද පණ්ඩිත තෙමේ සුවදුක් විඳී.
මහණෙනි, එහි ලා බාලයා සමග පණ්ඩිතයාගේ කවර වෙසෙසෙක් ද? කිනම් වැඩි ප්‍රයෝගයෙක් ද? කුමන වෙනසෙක් දැ?යි.
වහන්ස, අපගේ ධර්‍මෙයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට භාග්‍යවතුන් වහන්සේ නායක කොට භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. වහන්ස මේ දේශනාවෙහි අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහු ය යි. මහණෙනි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි. වහන්ස, එසේ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුනු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ බාලයාගේ මේ කය හටගත්තේ ද, බාලයාගේ ඒ අවිද්‍යාවත් ප්‍රහීණ නුවූවා ය. ඒ තෘෂ්ණාවෙන් ක්‍ෂීණ නුවූවාය. කවර හෙයින් යත්: මහණෙනි, බාලතෙමේ මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර නො කෙළේ ය. එහෙයින් බාලතෙමේ කය බිඳීමෙන් (අනෙක් පටිසන්‍ධි) කයකය පැමිණියේ වේ. අන් කයකට පැමිණි හේ ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් නො මිදෙයි. (සියලු) දුකින් නො මිදේ යි කියමි.
මහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුනු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ පණ්ඩිතයාගේ මේ කය හට ගත්තේ ද, ඒ පණ්ඩිතයාට අවිද්‍යාවත් ප්‍රහීණ වූවා ය. ඒ තෘෂ්ණාවෙන් ක්‍ෂීණ වූවා ය. කවරහෙයින යත්: මහණෙනි, පණ්ඩිත තෙමේ මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර කළේ ය. එහෙයින් පණ්ඩිත තෙමේ කය බිඳීමෙන් (අනෙක්) කයකට නො පැමිණියේ වේ. හෙතෙමේ (අනෙක්) කයකට නො පැමිණියේ ම ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ යයි කියමි.
මහණෙනි, යම් මේ බඹසර විසීමෙක් වේ ද, මේ වනාහි බාලයා හා පණ්ඩිතයාගේ වෙසෙස යි. මේ අධිකප්‍රයාග ය යි. මේ වෙනස යි.
1. 2. 10.
පච්චය (පච්චයුප්පන්න) සූත්‍රය
20. සැවැත්නුවර–
මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය ද පටිච්චසමුප්පන්න ධර්‍ම ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමියි. වහන්ස, එසේ යි භාග්‍යවතුන් වහන්සේට ඒ භික්‍ෂුහු පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද යත්: මහණෙනි, තථාගතයන්ගේ උත්පාදයෙහි දු තථාගතයන්ගේ අනුත්පාදයෙහි දු ජාතිප්‍රත්‍යයයෙන් මරණය වේ යන ඒ ප්‍රත්‍යයස්වභාවය ධර්‍මස්ථිතිය (ප්‍රත්‍යයෝත්පන්න කාරණය) ධර්‍මනියාමය (ප්‍රත්‍යයසමුත්පන්නධර්‍මනියමය) ඉදප්පච්චයතාව (මේ ප්‍රතීත්‍යසමුත්පන්නභාවය) සිටියේ ම ය. (පවත්නේම ය) ඒ ඉදම්ප්‍රත්‍යයතාව තථාගත තෙමේ අවබෝධ කෙරෙයි. අභිසමය කෙරෙයි. අවබෝධ කොට අභිසමය කොට දක්වයි. දේශනා කරයි. පණවයි. පිහිටුවයි. විවෘත කරයි. බෙදයි. ප්‍රකට කෙරෙයි. බලවු යි පවසයි. “මහණෙනි, ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ.” මහණෙනි, මෙසේ “ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ” (යන මෙහි යම් ප්‍රත්‍යය ස්වභාවයෙක්, යම් අමෘෂාභාවයෙක්, යම් අනන්‍ය ස්වභාවයෙක්, යම් ප්‍රත්‍යයොත්පන්නභාවයෙක් ඇද් ද, මේ ප්‍රතීත්‍යසමුත්පාදය යි කියනු ලැබේ.)
මහණෙනි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ... මහණෙනි, උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. ... මහණෙනි, තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මහණෙනි, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ... මහණෙනි, ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ... මහණෙනි, ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ... මහණෙනි, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ... මහණෙනි, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මහණෙනි, සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මහණෙනි, තථාගතයන්ගේ උත්පාදයෙහි දු තථාගතයන්ගේ අනුත්පාදයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යන ඒ ප්‍රත්‍යයස්වභාවය ධර්‍මස්ථිතිය ධර්‍මනියාමය ඉදප්පච්චයතාව සිටියා ම ය. තථාගත තෙමේ එය අවබෝධ කෙරෙයි. අභිසමය කෙරෙයි අවබෝධ කොට අභිසමය කොට දක්වයි. දේශනා කරයි. පණවයි. පිහිටුවයි. විවරණ - විභජන කෙරෙයි. ප්‍රකට කෙරෙයි. බලවු යි දු පවසයි. “මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති.” යන මෙහි යම් ස්වභාවයෙක් අමෘෂාභාවයෙක් අනන්‍යථාත්‍වයෙක් ඉදම්ප්‍රත්‍යයතායෙක් ඇද් ද, මහණෙනි, මේ පටිච්චසමුප්පාද යයි කියනු ලැබේ.