1. 2. 4.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
14 සැවැත්නුවර–
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ ධර්‍මයන් නො දනිද් ද, ඔහු තුමූ මේ ධර්‍මයන්ගේ සමුදය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපත්තිය නො දනිත්. කවර ධර්‍මයන් නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ සමුදය නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධය නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරොධගාමිණීප්‍රතිපදාව නො දනිද් ද? ජරාමරණ නො දනිත්. ජරාමරණසමුදය නෙ දනිත්. ජරාමරණනිරෝධය නො දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. ජාතිය ... භවය - උපාදාන - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර නො දනිද් ද? සඞ්ඛාරසමුදය නො දනිත්. සඞ්ඛාරනිරෝධය නො දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්.
(යම් කෙනෙක්) මේ ධර්‍මයන් නො දනිද් ද, (ඔහුතුමූ). මේ ධර්‍මයන්ගේ සමුදය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝත් බ්‍රාහ්මණයෝත් ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණයෝ ය යි සම්මත නො වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණයෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු ද ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට (ඊට) පැමිණ නො වෙසෙත්.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ධර්‍මයන් දනිද් ද, ඔහු මේ ධර්‍මයන්ගේ සමුදය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්. කවර ධර්‍මයන් දනිද් ද? කවර ධර්‍මයන්ගේ සමුදය දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධය දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දනිද් ද? ජරාමරණ දනිත්. ජරාමරණසමුදය දනිත්. ජරාමරණනිරෝධය දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්. ජාතිය ... භවය - උපාදාන - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර දනිද් ද, සඞ්ඛාරසමුදය දනිත්. සඞ්ඛාරනිරෝධය දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්.
(යම් කෙනෙක්) මේ ධර්‍මයන් දනිද් ද, (ඔහු) මේ ධර්‍මයන්ගේ සමුදය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝත් බ්‍රාහ්මණයෝත් ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණ ය යි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණ ය යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හුත් ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් මේ අත්බව්හි ම විශිෂ්ටඥානයෙන් දැන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙත් ය යි වදාළ සේක.
1. 2. 5.
කච්චානගොත්ත සූත්‍රය
15. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, සම්මාදිට්ඨි සම්මාදිට්ඨි ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් සම්මාදිට්ඨි ඇත්තේ වේ ද?
කච්චාන, මේ ලෝකයා අස්තිත්‍වය (ශාශ්වතය) ද නාස්තිත්‍වය (උච්ඡේදය) ද යන දෙ කොටස බෙහෙවින් ඇසුරු කෙළේ වේ. කච්චාන, ලෝකසමුදයය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් නාස්තිත්‍වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, ලෝකනිරෝධය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් අස්තිත්‍වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, මේ ලෝකයා තෘෂ්ණාදාෂ්ටිසඞ්ඛ්‍යාත උපාය උපාදාන අභිනිවේසයන්ගෙන් බැඳුනේ සිත පිහිටන තැන වූ ඒ උපාය උපාදාන සඞ්ඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටි අභිනිවෙශානුශයයට බෙහෙවින් නො පැමිණේ. ‘මාගේ ආත්මය’යි නො ගණී. නො ඉටයි. ‘උපදින්නේ දුක ම උපදියි. නිරුද්ධ වන්නේ දුක ම නිරුද්ධ වේ ය’යි (සලකයි. අන්‍ය වූ සත්ත්‍වයෙක් හෝ පුද්ගලයෙක් ඇතැයි) සැක නො කෙරේ. විචිකිච්ඡා නූපදවයි. මෙහි ලා ඔහුට පරප්‍රත්‍යයරහිතභාවයෙන් ආත්මප්‍රත්‍යක්‍ෂඥානයම වේ. කච්චාන, මෙතෙකින් ම සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි.
කච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි. සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි. කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි. “අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වෙයි. අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය.” කියා යි.
1. 2. 6.
ධම්මකථික සූත්‍රය
16. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහ්නසේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය: වහන්ස, ධර්‍මකථික ය, ධර්‍මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ධර්‍මකථික වේ ද?