1. 2. 5.
කච්චානගොත්ත සූත්‍රය
15. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, සම්මාදිට්ඨි සම්මාදිට්ඨි ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් සම්මාදිට්ඨි ඇත්තේ වේ ද?
කච්චාන, මේ ලෝකයා අස්තිත්‍වය (ශාශ්වතය) ද නාස්තිත්‍වය (උච්ඡේදය) ද යන දෙ කොටස බෙහෙවින් ඇසුරු කෙළේ වේ. කච්චාන, ලෝකසමුදයය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් නාස්තිත්‍වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, ලෝකනිරෝධය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් අස්තිත්‍වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, මේ ලෝකයා තෘෂ්ණාදාෂ්ටිසඞ්ඛ්‍යාත උපාය උපාදාන අභිනිවේසයන්ගෙන් බැඳුනේ සිත පිහිටන තැන වූ ඒ උපාය උපාදාන සඞ්ඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටි අභිනිවෙශානුශයයට බෙහෙවින් නො පැමිණේ. ‘මාගේ ආත්මය’යි නො ගණී. නො ඉටයි. ‘උපදින්නේ දුක ම උපදියි. නිරුද්ධ වන්නේ දුක ම නිරුද්ධ වේ ය’යි (සලකයි. අන්‍ය වූ සත්ත්‍වයෙක් හෝ පුද්ගලයෙක් ඇතැයි) සැක නො කෙරේ. විචිකිච්ඡා නූපදවයි. මෙහි ලා ඔහුට පරප්‍රත්‍යයරහිතභාවයෙන් ආත්මප්‍රත්‍යක්‍ෂඥානයම වේ. කච්චාන, මෙතෙකින් ම සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි.
කච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි. සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි. කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි. “අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වෙයි. අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය.” කියා යි.
1. 2. 6.
ධම්මකථික සූත්‍රය
16. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහ්නසේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය: වහන්ස, ධර්‍මකථික ය, ධර්‍මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ධර්‍මකථික වේ ද?
මහණ, ඉදින් මහණ තෙමේ ජරාමරණ පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස දහම් දෙසා නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මකථික’ ය යි කීමට යුතු වෙයි.
මහණ තෙමේ ජරාමරණ දෙක්හි කළකිරීම පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මානුධර්‍මප්‍රතිපන්න’ ය යි කීමට යුතු වෙයි.
ඉදින් මහණ තෙමේ ජරාමරණ පිළිබඳ ව කළකිරීමෙන් නො ඇලීමෙන් නැති කිරීමෙන් (කිසි ධර්‍මයක්) දැඩි ව නො ගෙණ මිදුනේ නම්, ඒ මහණ තෙමේ ‘මේ අත්බැව්හි ම නිවණට පැමිණියේ’ ය යි කීමට යුතු වෙයි.
ඉදින් මහණ තෙමේ ඉපැද්ම පිළිබඳ ව - ... - ඉදින් මහණ තෙමේ භවය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ උපාදාන පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ තෘෂ්ණාව පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ වේදනාව පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ ස්පර්‍ශය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ ෂඩායතන පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ නාමරූප පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ විඤ්ඤාණය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ සඞ්ඛාර පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස දහම් දෙසා නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මකථික’ ය යි කීමට යුතු වෙයි.
ඉදින් මහණ තෙමේ ජාතිය පිළිබඳ ව ... ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මානුධර්‍මප්‍රතිපන්න’ ය යි කීමට යුතු වෙයි.
ඉදින් මහණ තෙමේ ජාතිය පිළිබඳ ව ... ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීමෙන් නො ඇලීමෙන් නැති කිරීමෙන් (කිසි ධර්‍මයක්) දැඩි ව නො ගෙණ මිදුනේ වේ නම්, ඒ මහණ තෙමේ ‘මේ අත්බැව්හි ම නිවණට පැමිණියේ’ ය යි කීමට යුතු වෙයි.
1. 2. 7.
අචේලකස්සප සූත්‍රය
17. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. අචේලකාශ්‍යප තෙමේ වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු වූ ද , සිත් ඇලවියයුතු වූ ද කථාව කොට නිමවා එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටියා වූ අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළ් ය.