9. 1. 3.
කස්සපගොත්ත සූත්‍රය
223. එක්කලෙක ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ එක්තරා මුවවැද්දකුට අවවාද කෙරෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට සංවේග දනවනු කැමැත්තේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:
පර්‍වත දුර්‍ගයෙහි හැසිරෙණ නුවණ නැති (කරුණු නොකරුණු දැනීමෙහි සමත්) සිත් නැති මුවවැද්දකුට නොකල්හි අවවාද කරණ මහණ තෙමේ අන්‍ධබාලයකු මෙන් මට වැටහේ.
(තොපගේ බණ) අසයි. (එහෙත් අරුත්) නො දනී. (පුහුදුන් ඉදුහයෙන් දිලෙන පටඇඟිලි) බලයි. (එහි කරුණු) නො දකී. බණ කියන කල්හි අඥාන තෙමේ අරුත් අවබෝධ නො කෙරෙයි.
පින්වත් කස්සප, ඉදින් ඇඟිලි පහන් දශයක් දරන්නෙහි නමුත් (හේතු) රූපයන් නොම දක්නේ ය. යම් හෙයෙකින් ඕහට පැණැස නැද්ද (එහෙයිනි).
ඉක්බිති ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට (ඔතප්බියට) පමුණුවන ලද්දේ සංවිග්න වී ය.
9. 1. 4.
සම්බහුලා සූත්‍රය
224. එක්කලෙක බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු වස් එළඹුනාහු තෙමස අවෑමෙන් චාරිකාවට ගියහ. එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ දෙවි තෙමේ ඒ භික්‍ෂූන් නො දක්නේ හඬමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
හිස් වූ බොහෝ අසුන් දැක මට අද අරතියක් මෙන් වැටහෙයි. විසිතුරු කථා ඇති බහුශ්‍රුත වූ ඒ මේ ගොයුම් සව්වෝ කොහි වැඩියාහු ද.
මෙසේ කී කල්හි එක්තරා දෙවියෙක් දේවතාවාට මේ ගාථාව කී ය:
ඇතැම් කෙනෙක් මගධ දනව්වට වැඩියහ. (ඇතැම් කෙනෙක්) කොසොල් දනව්වට වැඩියහ. (ඇතැම් කෙනෙක්) වැදෑරටට අභිමුඛ ව (වැඩියහ.) භික්‍ෂූහු ඇල්මක් නැති ව හැසිරෙන්නාහු ගෙයක් නැති ව මුවන් මෙන් වෙසෙත්.
9. 1. 5.
ආනන්‍ද සූත්‍රය
225. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථිවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි.
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථිවිර තෙමේ අතිමාත්‍ර කාලයක් ගිහියන් කෙරෙහි හැඟවිලි (ඇවැත්නි නොහඬව යනාදි නැලවිලි) බහුල කොට ඇති ව වෙසෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ අනඳ තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති දෙවි අනඳ තෙරුන් සංවිග්න කරවනු කැමැත්තේ අනඳ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන්ට ගාථායෙන් කී ය.
රුක්මුල සෙනසුන්හි විසීමට පිවිසි නිවණ ලෙහි බහා ගෙණ (වෙසෙන) නුඹවහන්සේට (ගිහියන් සමග කරණ මේ) බිළිබිළි කථාව කුමක් කෙරේ ද? ගෞතමයන් වහන්ස, පමා නොවන මැනව. ධ්‍යාන කරණු මැනව.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වී ය.
9. 1. 6.
අනුරුද්ධ සූත්‍රය
226. එක්කලෙක අනුරුද්ධ ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙරඅත්බව්හි බිරියක් වූ තව්තිසාවැසි ජාලිනී නම් එක්තරා දෙව්දුවක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථායෙන් කිවු ය.
පෙර යම් දෙව්ලොවෙක නුඹවහන්සේ විසීම වී ද, එහි සිත පිහිටුවනු මැනව. සියලු කාමයෙන් සමෘද්ධ වූ තව්තිසා දෙවියන් කෙරෙහි දෙවඟනන් විසින් පෙරටු කරණ ලදු ව, පිරිවරණ ලදු ව බැබළුනුහු,