9. 1. 4.
සම්බහුලා සූත්රය
224. එක්කලෙක බොහෝ භික්ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙත්. ඉක්බිති ඒ භික්ෂූහු වස් එළඹුනාහු තෙමස අවෑමෙන් චාරිකාවට ගියහ. එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ දෙවි තෙමේ ඒ භික්ෂූන් නො දක්නේ හඬමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
හිස් වූ බොහෝ අසුන් දැක මට අද අරතියක් මෙන් වැටහෙයි. විසිතුරු කථා ඇති බහුශ්රුත වූ ඒ මේ ගොයුම් සව්වෝ කොහි වැඩියාහු ද.
මෙසේ කී කල්හි එක්තරා දෙවියෙක් දේවතාවාට මේ ගාථාව කී ය:
ඇතැම් කෙනෙක් මගධ දනව්වට වැඩියහ. (ඇතැම් කෙනෙක්) කොසොල් දනව්වට වැඩියහ. (ඇතැම් කෙනෙක්) වැදෑරටට අභිමුඛ ව (වැඩියහ.) භික්ෂූහු ඇල්මක් නැති ව හැසිරෙන්නාහු ගෙයක් නැති ව මුවන් මෙන් වෙසෙත්.
9. 1. 5.
ආනන්ද සූත්රය
225. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථිවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථිවිර තෙමේ අතිමාත්ර කාලයක් ගිහියන් කෙරෙහි හැඟවිලි (ඇවැත්නි නොහඬව යනාදි නැලවිලි) බහුල කොට ඇති ව වෙසෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ අනඳ තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති දෙවි අනඳ තෙරුන් සංවිග්න කරවනු කැමැත්තේ අනඳ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන්ට ගාථායෙන් කී ය.
රුක්මුල සෙනසුන්හි විසීමට පිවිසි නිවණ ලෙහි බහා ගෙණ (වෙසෙන) නුඹවහන්සේට (ගිහියන් සමග කරණ මේ) බිළිබිළි කථාව කුමක් කෙරේ ද? ගෞතමයන් වහන්ස, පමා නොවන මැනව. ධ්යාන කරණු මැනව.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වී ය.
9. 1. 6.
අනුරුද්ධ සූත්රය
226. එක්කලෙක අනුරුද්ධ ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙරඅත්බව්හි බිරියක් වූ තව්තිසාවැසි ජාලිනී නම් එක්තරා දෙව්දුවක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථායෙන් කිවු ය.
පෙර යම් දෙව්ලොවෙක නුඹවහන්සේ විසීම වී ද, එහි සිත පිහිටුවනු මැනව. සියලු කාමයෙන් සමෘද්ධ වූ තව්තිසා දෙවියන් කෙරෙහි දෙවඟනන් විසින් පෙරටු කරණ ලදු ව, පිරිවරණ ලදු ව බැබළුනුහු,
දෙවඟනෝ (ප්රතිපත්ති දුර්ගතියෙන්) දුර්ගතයහ. සත්කායයෙහි පිහිටියෝ ය. දෙවඟනන් විසින් පතන ලද ඒ සත්වයෝ ද දුර්ගතයහ.
යම් කෙනෙක් පිරිවර - යශස් ඇති තිදස්වැසි දේවපුරුෂයන්ගේ නදුනුයන නො දකිද්ද ඔහු සුවය නො දනිත්.
[අනුරුද්ධ:]
බාලතැනැත්තිය, “සියලු සංස්කාරයෝ අනිත්යයහ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංහිඳීම සුව ය” යන රහතුන්ගේ වදන පරිදි තෝ නො දන්නහු.
එම්බා, ජාලිනි, දැන් දේවකායෙහි නැවත විසීමෙක් (මට) නැත. ඉපදීම යයි කියන ලද සංසාරය ක්ෂීණ වූයේ ය. දැන් පුනර්භවයෙක් (මට) නැත.
9. 1. 7.
නාගදත්ත සූත්රය
227. එක්කලෙක ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඉතා කලින් ගමට පිවිසෙයි. ඉතා දවල් පෙරළා එයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ආයුෂ්මත් නාගදත්ත තෙරුන් සංවිග්න කරවනු කැමැත්තේ ආයුෂ්මත් නාගදත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:
නාගදත්ත, අලුයම් කාලයෙහි (පිඬු පිණිස) පිවිස වෙලාව ඉක්මවා හැසිරෙන සුලු වූයෙහි ගිහියන් හා හැනුනෙහි ඉතා දවල් පෙරළා අවුත් (ගිහියන් හා) සමාන සුවදුක් ඇත්තෙහිය.
ඉතා බුහුටි වූ කුලයන්හි බැඳුනා වූ නාගදත්ත (මහණහු ගැණ) බමි. බලවත් වූ මෘත්යුරාජ වූ මරුගේ වශයට නො ම පැමිණෙව.
ඉක්බිති ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වි ය.
9. 1. 8.
කුලඝරණී සූත්රය
228. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ එක්තරා කුලයක් කෙරෙහි අතිශය ඇතුළත් බවට පැමිණියේ අතිමාත්රකාලයක් වැඩ වෙසෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණ සංවිග්න කරවනු කැමැත්තේ ඒ කුලයෙහි ඒ කුලගෙහඹු වෙස් ගෙණ ඒ මහණ වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
ගං තෙර ද, විඩා සංහිඳුවන තැන ද, සභායෙහි ද, වීථියෙහි ද, ජනයෝ මුළු දී මා ගැණ ද, නුඹ වහන්සේ ගැණ ද කථා කෙරෙත්. කුමන හේතු ද?