9. වන සංයුත්තය
1. වන වර්‍ගය
9. 1. 1.
විවෙක සූත්‍රය
221. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ පස්කම්සුව ඇසුරු කළ ලාමක අකුසල් සිතිවිලි සිතයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ, ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
විවේකය කැමති ව වනයට පිවිසියේ වෙහි ය. එහෙත් ඔබගේ සිත පිටත හැසිරෙයි. ජනයෙක් වූ ඔබ අන්‍යජනයා කෙරෙහි ඡන්‍දරාගය දුරු කරව. එහෙයින් පහ ව ගිය රාග ඇත්තේ සැප ඇත්තෙක් වන්නෙහි ය.
අනභිරතිය දුරු කරව. සිහි ඇත්තෙක් වෙව. ඔබ සිස්හි ඇත්තෙකැ යි, නොහොත් ඒ සත්පුරුෂධර්‍මය යයි අදහමු. පාතලසඞ්ඛ්‍යාත කෙලෙස්රජස් තරණය කිරීමට දුෂ්කර ම ය. කාමරාගරජස් ඔබ (අපායට) නො හෙළාවා.
පස් තැවරුණා වූ පක්‍ෂියෙක් (පියාපත්) සලමින් (ශරීරයෙහි) ඇලුනු දූවිලි යම් සේ හෙළා ද, එසේ ම ප්‍රධන් වීර්‍ය්‍යය ඇති ස්මෘතිමත් වූ මහණ තෙම (ස්වාසන්තානය) ඇසුරු කළ (කෙලෙස්) රජස් සලමින් හෙළයි.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවේගයට (ඔතප්බියට) පැමිණියේ ය.
9. 1. 2.
උපට්ඨාන සූත්‍රය
222. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණෙ තෙමේ දිවාවිහාරයට ගියේ නිදයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ, ඒ මහණහට සංවේගදන්වනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය.
එළඹ ඒ මහණහට ගාථායෙන් කීය.
මහණ, නැගිටුව, කිම, නිදහි ද? නිදීමෙන් තොපට කිනම් වැඩෙක් ද? ක්ලේශාතුර වූ (අවිද්‍යා විෂ පෙවූ තෘෂ්ණා) ශල්‍යයෙන් විදින ලද ගැටෙන්නාවූ තොපට කරව නින්දෙක් ද?
යම් ශ්‍රද්ධාවෙකින් ගිහිගෙන් නික්ම පැවිදි වූයෙහි ද, ඒ ශ්‍රද්ධාව ම වඩව. නින්දට වසඟ නො වව.
නුවණ මඳ වූ පෘථග්ජන තෙමේ යම් කාමයන්හි මුසපත් වූයේ ද, ඒ කාමයෝ අනිත්‍යයහ. අධ්‍රැවයහ. ස්කන්‍ධයන්හි මිදුනාවූ තෘෂ්ණාදෘෂ්ටීන් අනිඃශ්‍රිත වූ පැවිද්දකු කුමක් හෙයින් (දිවාස්වප්නය තෙමේ) තවන්නේ ද,
ඡන්‍දරාගය වැනසීමෙන් ද, අවිද්‍යාව ඉක්ම වීමෙන් ද ඒ චතුස්සත්‍යඥානය පරම පවිත්‍ර වූයේ වෙයි. (එබඳු) පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද,
මාර්‍ගඥාන විද්‍යාවෙන් අවිද්‍යාව බිඳ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් නිශ්ශෝකී වූ උපායාස රහිත වූ පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද,
සම්පූර්‍ණ වීර්‍ය්‍යය ඇති නිවන් පිණිස මෙහෙයු සිත් ඇති නිතර දැඩි පැරකුම් ඇති නිවණ පතන පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද.
9. 1. 3.
කස්සපගොත්ත සූත්‍රය
223. එක්කලෙක ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ එක්තරා මුවවැද්දකුට අවවාද කෙරෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට සංවේග දනවනු කැමැත්තේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:
පර්‍වත දුර්‍ගයෙහි හැසිරෙණ නුවණ නැති (කරුණු නොකරුණු දැනීමෙහි සමත්) සිත් නැති මුවවැද්දකුට නොකල්හි අවවාද කරණ මහණ තෙමේ අන්‍ධබාලයකු මෙන් මට වැටහේ.
(තොපගේ බණ) අසයි. (එහෙත් අරුත්) නො දනී. (පුහුදුන් ඉදුහයෙන් දිලෙන පටඇඟිලි) බලයි. (එහි කරුණු) නො දකී. බණ කියන කල්හි අඥාන තෙමේ අරුත් අවබෝධ නො කෙරෙයි.
පින්වත් කස්සප, ඉදින් ඇඟිලි පහන් දශයක් දරන්නෙහි නමුත් (හේතු) රූපයන් නොම දක්නේ ය. යම් හෙයෙකින් ඕහට පැණැස නැද්ද (එහෙයිනි).
ඉක්බිති ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට (ඔතප්බියට) පමුණුවන ලද්දේ සංවිග්න වී ය.