9. 1. 14.
පදුමපුප්ඵ සූත්රය
234. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩ වෙසෙයි. එකල්හි ඒ මහණ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණේ පොකුණට බැස පියුමක් සිඹී.
ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවේගය දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.
නො දෙන ලද යම් ඒ පියුමක් සිඹිහි ද, මෙය සොරකම් අතුරෙන් එක් කොටසෙකි. නිදුකානන් වහන්ස, (එහෙයින්) ගන්ධත්ථේන (සුවඳ සොරෙක්) වෙහි ය.
[භික්ෂු:]
මේ පියුම ගෙණ නො යෙමි. නො කඩමි. දුර සිට සිඹිමි. එසේ ඇති කළ කිනම් කරුණෙකින් ගන්ධත්ථේන යයි කියනු ලැබේ ද,
[දෙවි:]
යම් ඒ තවුසෙක් නෙලුඹල කණී ද, පියුම් නෙළා ද, මෙසේ අපිරිසිදු කර්මාන්ත ඇති මේ තවුස් කුමක් හෙයින් ගන්ධත්ථේන යයි නො කියනු ලැබේ ද.
ඒ පුරුෂ තෙමේ බොහෝ පව් ඇත්තෙකි. කිරි මව හැඳිවත උච්චාරපස්සාවා (මලමූත්රා) දියෙහි ගැවසී ගත්තාක් මෙන් (රාගදෝෂාදියෙන්) වැකුණෙකි. ඔහු කෙරෙහි මාගේ බසෙක් නැත. ඔබට නම් කියන්නට නිසි වෙමි.
කෙලෙස් නැති නිතර පවිත්ර වූ ශීලාසමාධි ආදී ඥානයන් සොයන්නා වූ පුද්ගලයාට පාපය පිළිබඳ වලග පමණ වූ (ඉතා මඳ) දෝෂය පවා වලා පටලයක් පමණ වූවාක් මෙන් වැටහේ.
[භික්ෂු:]
යක්ෂය, මා ඒකාන්තයෙන් පිරිසිදු ය යි දන්නේ හි ය. මට අනුකම්පා කෙරෙහි. යම් කලෙක මෙබන්දක් දක්නෙහි නම් යක්ෂය, නැවතත් කියන්නෙහි ය.
[දෙවි:]
මහණ, තොප නිසා නො ම ජීවත් වම්හ. තොපගේ බැළයමෝ නො ද වම්හ. යම් කර්මයෙකින් සුගතියට යන්නේ ද, (එය) තො ම දන්නෙහි ය.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවේගයට පැමිණියේ ය.
වනවර්ගය පළමුවැනි යි.
එහි උද්දානය:
විවෙක, උපට්ඨාන, කස්සපගොත්ත, සම්බහුලා, ආනන්ද, අනුරුද්ධ, නාගදත්ත, කුලඝරණී, වජ්ජිපුත්ත, සඡ්ඣාය, අයෝනිසෝ, මඡ්ඣන්තික, පාකතින්ද්රිය, පදුමපුප්ඵ යයි සූත්ර තුදුසෙකි.
වනසංයුත්තය නිමියේ ය.
10. යක්ඛ සංයුත්තය
1. ඉන්දක වර්ගය
10. 1. 1.
ඉන්දක සූත්රය
235. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන්දකූට පර්වතයෙහි ඉන්දක යක්ෂයාගේ භවනයෙහි වැඩ වසන සේක. එකල ඉන්දක යක්ෂ තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
බුදුවරයෝ රූපය ජීවය යි නොකියත්. (එසේ නම්) මේ සත්ව තෙමේ මේ සිරුර කෙසේ නම් ලබා ද? මොහුගේ ඇට හා අක්මාපිඬ කොයින් ඒ ද? මේ තෙමේ නම් මවුකුස ලැගේ ද?
[භගවත්හු:]
පළමු කොට කලලරූපය වේ. කලලයෙන් අබ්බුදය වේ. අබ්බුදයෙන් පේසිය හට ගණි. පේසියෙන් ඝන නම් මස්පිඬෙක් හට ගණී. ඒ ඝනයෙන් පිලක පසෙක් හට ගණී. ඉන්පසු කෙස් ලොම් ද නිය ද හට ගණිත්.
ඔහුගේ මව යම් අහරකුත්, බොන දැයකුත්, බොජුනකුත් වළඳා ද, මවුකුසට පැමිණ ඒ සත්ව තෙමේ ඒ ආහාර පානාදියෙන් එහි දී යැපේ.