10. යක්ඛ සංයුත්තය
1. ඉන්‍දක වර්‍ගය
10. 1. 1.
ඉන්‍දක සූත්‍රය
235. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන්‍දකූට පර්‍වතයෙහි ඉන්‍දක යක්‍ෂයාගේ භවනයෙහි වැඩ වසන සේක. එකල ඉන්‍දක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
බුදුවරයෝ රූපය ජීවය යි නොකියත්. (එසේ නම්) මේ සත්‍ව තෙමේ මේ සිරුර කෙසේ නම් ලබා ද? මොහුගේ ඇට හා අක්මාපිඬ කොයින් ඒ ද? මේ තෙමේ නම් මවුකුස ලැගේ ද?
[භගවත්හු:]
පළමු කොට කලලරූපය වේ. කලලයෙන් අබ්බුදය වේ. අබ්බුදයෙන් පේසිය හට ගණි. පේසියෙන් ඝන නම් මස්පිඬෙක් හට ගණී. ඒ ඝනයෙන් පිලක පසෙක් හට ගණී. ඉන්පසු කෙස් ලොම් ද නිය ද හට ගණිත්.
ඔහුගේ මව යම් අහරකුත්, බොන දැයකුත්, බොජුනකුත් වළඳා ද, මවුකුසට පැමිණ ඒ සත්‍ව තෙමේ ඒ ආහාර පානාදියෙන් එහි දී යැපේ.
10. 1. 2.
සක්ක සූත්‍රය
236. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල සක්ක නම් යක්‍ෂයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
අනුන්ට අනුශාසනා කෙරෙයි යන යමෙක් වේ ද, සියලු තන්හි ප්‍රහීණ වූ කෙලෙස්ගැට ඇති වෙසෙසින් මිදුනු ශ්‍රමණ වූ ම තොපට එය නො මැනවි.
[භගවත්හු:]
එම්බා සක්ක, යම්කිසි කාරණයෙකින් සංවාසය හෙවත් මිත්‍රධර්‍මය හට ගණී ද, සුප්‍රාඥ තෙමේ එයට සිතින් අනුකම්පා කරන්නට නොනිසි යි.
එහෙත් පහන් සිතින් අනුන්ට අනුශාසනා කෙරෙයි යන යමෙක් වේ ද, එයින් බැඳීමෙක් නො වේ. එය අනුකම්පාව යි. කරුණාව යි.
10. 1. 3.
සූචිලෝම සූත්‍රය
237. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාවට නුදුරෙහි සුචිලෝම යක්‍ෂයාගේ භවනෙහි ටඞ්කීතමඤ්චයෙහි වැඩ වසන සේක. එකල්හි ඛර යක්‍ෂ තෙමේ ද, සුචිලෝම යක්‍ෂ තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි ගමන් කෙරෙත්.
ඉක්බිති ඛරලෝම යක්‍ෂ තෙමේ “මේ ශ්‍රමණයෙකැ”යි සූචිලෝම යක්‍ෂයාට මෙය කී ය.
මේ ශ්‍රමණයෙක් නො වේ. මේ ශ්‍රමණකයෙකි, හෙ ශ්‍රමණයෙක් දෝ නොහොත් ශ්‍රමණකයෙක් දෝ යි දැන ගණිමි. ඉක්බිති සූචිලෝම යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට කය එළවීය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ කය (මඳක්) ඉවත් කළ සේක.
ඉක්බිති සූචිලෝම යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, මා කෙරෙන් බියවෙහි ද?
[භගවත්හු:]
ඇවැත්නි, මම තා කෙරෙන් නො බමි. එහෙත් තගේ පහස ලාමකය.
[සූචිලෝම:]
මහණ, තා ප්‍රශ්නයක් විචාරන්නෙමි. මහණ, ඉදින් මට නොවිසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්‍ෂේප කරන්නෙමි. තාගේ හෘදය හෝ පලන්නෙමි. දෙපා ගෙණ හෝ ගඟ පරතෙර දමන්නෙමි යි.
[භගවත්හු:]
ඇවැත්නි, යමෙක් මාගේ සිත හෝ වික්‍ෂේප කරන්නේ ද, හෘදය හෝ පලන්නේ ද, දෙපා ගෙණ හෝ ගඟපරතෙර දමන්නේ ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නොම දකිමි. ඇවැත්නි එහෙත් තෝ යමක් කැමැත්තෙහි නම් අස.