9. 1. 10.
සජ්ඣාය සූත්‍රය
230. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ පෙර අතිමාත්‍රකාලයක් හැදෑරීම් බහුල කොට ඇත්තේ වෙසෙයි. (එහෙත්) හෙ තෙමේ පසුකලෙක උත්සාහ රහිත වූයේ කල් ගෙවයි.
එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ දෙවි ඒ මහණහුගේ ධර්‍මය නො අසන්නේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.
මහණ, නුඹ වහන්සේ භික්‍ෂූන් සමග වෙසෙමින් කුමක් හෙයින් ධර්‍මපදයන් නොහදාරන්නහු ද? ධර්‍මය අසා පැහැදීම ලබ යි. ඉහාත්මයෙහි ම පැසැසීම ද ලබයි.
යම්තාක් ආර්‍ය්‍යමාර්‍ගය හා එක් වූවමෝ ද, (ඊට) පෙර ධර්‍මපදයන්හි ඡන්‍දරාගය වී ය. යම් හෙයකින් ආර්‍ය්‍යමාර්‍ගය හා එක් වූවමෝ ද (එහෙයින්) යම් කිසි ඇසින් දුටු රූපයෙක් හෝ කණින් ඇසූ ශබ්දයෙක් හෝ කයින් පහස්නා ලද ස්ප්‍රෂ්ටව්‍යයෙක් හෝ වේ ද, (ඒ සියල්ල අනිත්‍යාදි වශයෙන්) දැන දුර ලීම කළම්හ. ආර්‍ය්‍යයෝ එය කියත්.
9. 1. 11.
අයෝනිසෝ සූත්‍රය
231. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ දිවා විහාරයට ගියේ ලාමක අකුසල විතර්‍කයන් (කාමවිතර්‍කය, ව්‍යාපාද විතර්‍කය, විහිංසා විතර්‍කය) විතර්‍කණය කෙරෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
නුනුවණින් මෙනෙහි කිරීමෙන් ඒ තෙපි පාපවිතර්‍කයන් විසින් කනු ලැබහු. නුනුවණින් මෙනෙහි කිරීම බැහැර කොට නුවණින් මෙනෙහි කරව.
ශාස්තෲන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද තමාගේ සිල් ද ඇරබ ඒකාන්තයෙන් ප්‍රමෝද්‍යයත් ප්‍රීතිය හා සුවත් ලබව. එයින් ප්‍රමෝදය බහුල කොට ඇතිව දුක් කෙළවර කරන්නාහු ය.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වූයේ ය.
9. 1. 12.
මජ්ඣන්තික සූත්‍රය
232. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ දෙවි ඒ මහණ වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහුගේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සිටිමද්දහනෙහි පක්‍ෂීන් ඉසඹු ලනකල්හි මහවනය. (මහත්සේ) හඬ නගන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.
[භික්‍ෂූ:]
සිටිමද්දහනෙහි පක්‍ෂීන් ඉසඹු ලනකල්හි මහවනය මහත් සේ හඬ නගන්නාක් මෙනි. එය මට සිත් පිණවන්නාක් ව වැටහේ.
9. 1. 13.
පාකතින්‍ද්‍රිය සූත්‍රය
233. එක්කලෙක උඩනු වූ නැඟූ මානනළ ඇති චපල වූ රළු වචන ඇති දොඩමලු වූ මුළා සිහි ඇති මනා නුවණ නැති නො එකඟ සිත් ඇති නො සන්සුන් සිත් ඇති පියවි ඉඳුරන් ඇති බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙත්.
එකල ඒ වනලැහැබ අරක් ගත ඒ භික්‍ෂූන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ භික්‍ෂූන්ට සංවේග දනවනු කැමැත්තේ ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට ගාථායෙන් කී ය: