9. 1. 11.
අයෝනිසෝ සූත්රය
231. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ දිවා විහාරයට ගියේ ලාමක අකුසල විතර්කයන් (කාමවිතර්කය, ව්යාපාද විතර්කය, විහිංසා විතර්කය) විතර්කණය කෙරෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
නුනුවණින් මෙනෙහි කිරීමෙන් ඒ තෙපි පාපවිතර්කයන් විසින් කනු ලැබහු. නුනුවණින් මෙනෙහි කිරීම බැහැර කොට නුවණින් මෙනෙහි කරව.
ශාස්තෲන් වහන්සේ ද ධර්මය ද සඞ්ඝයා ද තමාගේ සිල් ද ඇරබ ඒකාන්තයෙන් ප්රමෝද්යයත් ප්රීතිය හා සුවත් ලබව. එයින් ප්රමෝදය බහුල කොට ඇතිව දුක් කෙළවර කරන්නාහු ය.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වූයේ ය.
9. 1. 12.
මජ්ඣන්තික සූත්රය
232. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ දෙවි ඒ මහණ වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහුගේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සිටිමද්දහනෙහි පක්ෂීන් ඉසඹු ලනකල්හි මහවනය. (මහත්සේ) හඬ නගන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.
[භික්ෂූ:]
සිටිමද්දහනෙහි පක්ෂීන් ඉසඹු ලනකල්හි මහවනය මහත් සේ හඬ නගන්නාක් මෙනි. එය මට සිත් පිණවන්නාක් ව වැටහේ.
9. 1. 13.
පාකතින්ද්රිය සූත්රය
233. එක්කලෙක උඩනු වූ නැඟූ මානනළ ඇති චපල වූ රළු වචන ඇති දොඩමලු වූ මුළා සිහි ඇති මනා නුවණ නැති නො එකඟ සිත් ඇති නො සන්සුන් සිත් ඇති පියවි ඉඳුරන් ඇති බොහෝ භික්ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙත්.
එකල ඒ වනලැහැබ අරක් ගත ඒ භික්ෂූන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ භික්ෂූන්ට සංවේග දනවනු කැමැත්තේ ඒ භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්ෂූන්ට ගාථායෙන් කී ය:
පෙර ආශා රහිත ව පිඬු සොයන ආශා රහිත ව සෙනසුන් සොයන ගොයුම්සවු වූ මහණහු සුවදිවි ඇති වූහ. ඔහු ලොව අනිස් බැව් දැන දුක කෙළවර කළහ.
මම සඞ්ඝයාට ඇඳිලි බැඳ කියමි. මෙහි ඇතැම්හු ගම්හි නින්දිත ගම් දෙටුවන් මෙන් තමන් දුකසේ පෝෂණය කළ හැක්කවුන් කොට අන්ගෙවල පුනපුනා බුදිමින් මුසපත් ව හොවිත්. සස්නෙන් බැහැර වූ ඔහු අසරණයෝ ය. සොහොනෙහි දමන ලද මළසිරුර බඳු වෙත්.
යම් කෙනෙක් ප්රමත්ත ව වෙසෙත් නම් මා විසින් ඔවුන් සඳහා කියන ලදී. යම් කෙනෙක් අප්රමත්ත ව වෙසෙත් නම් මම ඔවුන්ට නමස්කාර කරමි.
ඉක්බිති ඒ භික්ෂූහු ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දාහු සංවේගයට පැමිණියහ.
9. 1. 14.
පදුමපුප්ඵ සූත්රය
234. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩ වෙසෙයි. එකල්හි ඒ මහණ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණේ පොකුණට බැස පියුමක් සිඹී.
ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවේගය දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.
නො දෙන ලද යම් ඒ පියුමක් සිඹිහි ද, මෙය සොරකම් අතුරෙන් එක් කොටසෙකි. නිදුකානන් වහන්ස, (එහෙයින්) ගන්ධත්ථේන (සුවඳ සොරෙක්) වෙහි ය.
[භික්ෂු:]
මේ පියුම ගෙණ නො යෙමි. නො කඩමි. දුර සිට සිඹිමි. එසේ ඇති කළ කිනම් කරුණෙකින් ගන්ධත්ථේන යයි කියනු ලැබේ ද,
[දෙවි:]
යම් ඒ තවුසෙක් නෙලුඹල කණී ද, පියුම් නෙළා ද, මෙසේ අපිරිසිදු කර්මාන්ත ඇති මේ තවුස් කුමක් හෙයින් ගන්ධත්ථේන යයි නො කියනු ලැබේ ද.
ඒ පුරුෂ තෙමේ බොහෝ පව් ඇත්තෙකි. කිරි මව හැඳිවත උච්චාරපස්සාවා (මලමූත්රා) දියෙහි ගැවසී ගත්තාක් මෙන් (රාගදෝෂාදියෙන්) වැකුණෙකි. ඔහු කෙරෙහි මාගේ බසෙක් නැත. ඔබට නම් කියන්නට නිසි වෙමි.
කෙලෙස් නැති නිතර පවිත්ර වූ ශීලාසමාධි ආදී ඥානයන් සොයන්නා වූ පුද්ගලයාට පාපය පිළිබඳ වලග පමණ වූ (ඉතා මඳ) දෝෂය පවා වලා පටලයක් පමණ වූවාක් මෙන් වැටහේ.