8. 1. 3.
පෙසල අතිමඤ්ඤනා සූත්‍රය
211. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමග වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ තමාගේ ප්‍රතිභානයෙන් අනෙක් ප්‍රියශීල භික්‍ෂූන් හෙළා දකියි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස හට “යම්බඳු මම තමාගේ ප්‍රතිභානයෙන් අනෙක් ප්‍රියශීල භික්‍ෂූන් අවමන් කෙරෙම් ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒ මට ඒකාන්තයෙන් ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මා විසින් නපුරක් ලබන ලද්දේ ය. මා විසින් ඒකාන්තයෙන් යහපතෙක් නො ලබන ලද්දේ ය”යි මේ අදහස වි ය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ තෙමේ ම තමාට විපිළිසර උපදවා ඒ වේලාවෙහි මේ ගාථා කී ය.
ගෞතමය, මානය දුරු කොට, මානාරම්මණය ද බැහැර කරව. මානාරම්මණයෙහි නිරවශේෂයෙන් මුසපත් වූයේ බොහෝ කලක් විපිළිසර ඇත්තෙක් විය.
ගුණමකුබැවින් වකුනා වූ සත්‍වයෝ මානයෙන් නැසුනාහු නිරයට වැටෙත්. මානයෙන් විනෂ්ට ව නිරයට පැමිණි ඒ සත්‍වයෝ බොහෝ කලක් ශෝක කෙරෙත්.
(මාර්‍ගයෙන් දිනූ කෙලෙස් ඇති බැවින්) මග්ගජින නම් වූ මොනවාට පිළිපන් මහණ තෙමේ කිසි කලෙකත් ශෝක නො ම කෙරෙයි. කීර්තිය ද සුවය ද අනුභව කෙරෙයි. ස්ථිරසිත් ඇති උන්වහන්සේ ධම්මදසයයි කියත්.
එහෙයින් මේ ශාසනයෙහි චේතෝඛිල නැති ප්‍රධන්වීර්‍ය්‍යය ඇති (භික්‍ෂු තෙමේ) නීවරණයන් දුරු කොට පිරිසිදු වූයේ වෙයි. සියලු මානය පහ කොට (අර්‍හන්මාර්‍ග) විද්‍යාවෙන් (කෙලෙස්) කෙළවර කරන්නෙක් වෙයි. සන්හුන්නෙක් ද වෙයි.
8. 1. 4.
ආනන්‍ද සූත්‍රය
212. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍දතෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දතෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ආයුෂ්මත් වඞ්ගීස නම් පසු මහණහු සමග සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ.
එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනභිරතියෙක් උපන්නේ වේ: රාගය සිත වනසයි. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට ගාථායෙන් කී ය:
කාමරාගයෙන් දැවෙමි. මාගේ සිත හාත්පසින් දැවේ. ගෞතමයන් වහන්ස, අනුකම්පා පිණිස (ඒ රාගගින්න) නිවිමේ උපායක් වදාළ මැනව.
[අනඳතෙරහු:]
සංඥා විපර්‍ය්‍යාස හේතුවෙන් තොපගේ සිත දැවෙයි. රාගෝත්පත්තියට හේතු වූ සුභාරම්මණය දුරු කරව.
සංස්කාරයන් අනිත්‍යවශයෙන් ද දුක්වශයෙන් ද දකුව, ආත්මවශයෙන් නො දකුව. මහාරාගය නිවව. (එවිට) නැවත නැවත නහමක් දැවෙහි.
අසුභභාවනාවෙහි එකඟ කොට සමාධි ගත කොට සිත වඩව, තට කාගියා සිහිය ඇති වේවා, නිර්වේදය බහුල කොට ඇත්තෙක් වෙව.
විදර්‍ශනාව ද වඩව, මානානුසය උපුටා හරුව. ඒ මානය දුරු කිරීම් හේතුවෙන් උපසාන්තයෙක් ව හැසිරෙන්නෙහි ය.
8. 1. 5.
සුභාසිත සූත්‍රය
213. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, සිවුඅඟෙකින් සමන්‍විත වදන සුභාෂිත වෙයි. දුර්‍භාෂිත නො වෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි. කවර සිවුඅගෙකින? යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ සුබැසි තෙපුල් ම බෙණේ ද, දුබැසි තෙපුල් නො බෙණේ ද, දැහැමි තෙපුල් ම බෙණේ ද, නො දැහැමි තෙපුල් නො බෙණේ ද, ප්‍රිය තෙපුල් ම බෙණේ ද, අප්‍රිය තෙපුල් නො බෙණේ ද, සැබෑ තෙපුල් ම බෙණේ ද, නො සැබෑ තෙපුල් ම නො බෙණේ ද, මහණෙනි, මේ සිවු අඟින් යුත් වදන සුභාෂිත වෙයි. දුර්‍භාෂිත නොවෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා නැවත අන්ලෙසකින් ද මෙය වදාළ සේක: