1. වඞ්ගීස වර්ගය
8. 1. 1.
නික්ඛන්ත සූත්රය
209. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්යාය වූ ආයුෂ්මත් නිග්රෝධකප්ප තෙරුන් සමග වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අලුත පැවිදි වූ වෙහෙර නවතින වෙහෙර රක්නා නවකයෙක් වෙයි.
ඉක්බිති බොහෝ ස්ත්රීහු සැරසී වෙහෙර දක්නා කැමැත්තාහු අග්ගාලවකආරාමය කරා පැමිණියහ. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට ඒ ස්ත්රීන් දැක අනභිරතිය උපදයි. රාගය (කුසල්) සිත වනසයි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “යම්බඳු මට අනභිරතිය උපන්නී ද, රාගය සිත වනසා ද, ඒකාන්තයෙන් (එය) මට අලාභයෙක. ඒකාන්තයෙන් එය මට ලාභයෙක් නො වේ. මට ඒකාන්තයෙන් දුර්භාග්යයෙකි. ඒකාන්තයෙන් මට යහපත් භාග්යයෙක් නොවේ. යම් හෙයකින් මෙරමා මාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවන්නේ නම් එය මෙහි කොයින් ලැබිය හැකි ද, මම තෙමේ ම තමාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවන්නෙම් නම් මැනැවැ”යි මේ සිත විය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ම තමාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවා ඒ වේලාවෙහි මේ ගාථා කීය.
ගිහිගෙයින් නික්මුනාවූ ම සස්නට පැමිණියා වූ මා කරා බුහුටි වූ මේ විතර්කයෝ මාරයා කෙරෙන් ඒකාන්තයෙන් දිව එත්.
උග්රපුත්ර (රාජන්ය) වූ මහත්දුනු ඇති (ධනුශ්ශිල්පයෙහි) මොනවාට හික්මුනු දැඩි ඇදුරු දුනු දරන්නාවූ පලා නොයන ඔවුන් දහස්හුදු හාත්පස ඊතල විසුරුවනාහු ද (දක්ෂ පුරුෂයාට ඒ සියල්ල වැළකිය හැකිය.)
ඉදිනුදු මේ පමණ (දහස) ටත් වඩා ස්ත්රීහු එන්නාහු ද, ස්වකීය (ශාසන) ධර්මයෙහි පිහිටි මා නො පෙළන්නාහු ය.
සූර්ය්යබන්ධු වූ බුදුරජානන් වහන්සේ සම්මුඛයෙන් ම මේ නිවන් යන මග මා විසින් අසන ලද්දේ ය. එහි මාගේ සිත ඇලුනේ ය.
පවිට, ඉදින් මෙසේ වසන්නා වූ මා කරා පමිණෙහි ද, මරුව (තෝ යම්සේ) මා ගිය මගක් නො දක්නෙහි ද, එසේ කරන්නෙමි.
8. 1. 2.
අරති සූත්රය
210. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්යාය වූ ආයුෂ්මත් නිග්රෝධකප්ප තෙරුන් සමග වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නිග්රෝධකප්ප තෙරණුවෝ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු වෙහෙරට පිවිසෙති. සවස හෝ පසුදින පිඬු සිඟන වේලෙහි හෝ නික්මෙති. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනභිරතියෙක් උපන්නේ වෙයි. රාගය සිත වනසයි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “යම්බඳු මට අනභිරතියෙක් උපන්නේ ද, රාගය සිත වනසා ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒකාන්තයෙන් මට ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මට නපුරු ලැබීමෙකි. ඒකාන්තයෙන් මට මනා ලැබීමෙක් නොවේ. යම් හෙයකින් මෙරමා අනභිරතිය දුරු කොට අභිරතිය උපද වන්නේ නම් එය මෙහිලා කොයින් ලැබිය හැකි ද, මම තමාගේ අනභිරතිය තෙමේ ම දුරු කොට අභිරතිය උපදවන්නෙම් නම් මැනැවැ”යි මේ අදහස විය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ම තමා ගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවා ඒ වෙලාවෙහි මේ ගාථා කී ය.
යමෙක් (සස්නෙහි) නො ඇල්ම ද (පස්කම් ගුණයෙහි) ඇල්ම ද ගෙහනිඃශ්රිත වූ පාපවිතර්ක ද සර්වප්රකාරයෙන් දුරු කොට කිසි අරමුණෙක්හි කෙලෙස් නමැති මහවනය නො කරන්නේ ද, කෙලෙස්වන නැති තෘෂ්ණාරති නැති හෙ තෙමේ භික්ෂු නම් වේ.
මේ ලෝකයෙහි පොළොව ඇසුරු කළා වූ ද, අහස ඇසුරු කළා වූ ද, ලෝකයෙහි ඇතුළත් වූ යම්කිසි රූපයෙක් වේ ද, ඒ සියල්ල සහමුලින් දිරයි. අනිත්ය යි. මෙසේ දැන දන්නා ලද අත්බැව් ඇත්තෝ වෙසෙත්.