8. 1. 4.
ආනන්ද සූත්රය
212. එක්කලෙක ආයුෂ්මත් ආනන්දතෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්දතෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ආයුෂ්මත් වඞ්ගීස නම් පසු මහණහු සමග සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ.
එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනභිරතියෙක් උපන්නේ වේ: රාගය සිත වනසයි. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට ගාථායෙන් කී ය:
කාමරාගයෙන් දැවෙමි. මාගේ සිත හාත්පසින් දැවේ. ගෞතමයන් වහන්ස, අනුකම්පා පිණිස (ඒ රාගගින්න) නිවිමේ උපායක් වදාළ මැනව.
[අනඳතෙරහු:]
සංඥා විපර්ය්යාස හේතුවෙන් තොපගේ සිත දැවෙයි. රාගෝත්පත්තියට හේතු වූ සුභාරම්මණය දුරු කරව.
සංස්කාරයන් අනිත්යවශයෙන් ද දුක්වශයෙන් ද දකුව, ආත්මවශයෙන් නො දකුව. මහාරාගය නිවව. (එවිට) නැවත නැවත නහමක් දැවෙහි.
අසුභභාවනාවෙහි එකඟ කොට සමාධි ගත කොට සිත වඩව, තට කාගියා සිහිය ඇති වේවා, නිර්වේදය බහුල කොට ඇත්තෙක් වෙව.
විදර්ශනාව ද වඩව, මානානුසය උපුටා හරුව. ඒ මානය දුරු කිරීම් හේතුවෙන් උපසාන්තයෙක් ව හැසිරෙන්නෙහි ය.
8. 1. 5.
සුභාසිත සූත්රය
213. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැයි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, සිවුඅඟෙකින් සමන්විත වදන සුභාෂිත වෙයි. දුර්භාෂිත නො වෙයි. නිරවද්ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි. කවර සිවුඅගෙකින? යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ සුබැසි තෙපුල් ම බෙණේ ද, දුබැසි තෙපුල් නො බෙණේ ද, දැහැමි තෙපුල් ම බෙණේ ද, නො දැහැමි තෙපුල් නො බෙණේ ද, ප්රිය තෙපුල් ම බෙණේ ද, අප්රිය තෙපුල් නො බෙණේ ද, සැබෑ තෙපුල් ම බෙණේ ද, නො සැබෑ තෙපුල් ම නො බෙණේ ද, මහණෙනි, මේ සිවු අඟින් යුත් වදන සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි. නිරවද්ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා නැවත අන්ලෙසකින් ද මෙය වදාළ සේක:
බුද්ධාදි සත්පුරුෂයෝ උතුම් වූ සුබැසි තෙපුල් ම කියත්. දැහැමි තෙපුල් ම බණන්නේ ය. නො දැහැමි තෙපුල් නො බණන්නේ ය. ඒ දෙවැන්න ය. ප්රිය තෙපුල් ම බණන්නේ ය. අප්රිය තෙපුල් නො බණන්නේ ය. එය තෙවැන්න ය. සැබෑ තෙපුල් ම බණන්නේ ය. නො සැබෑ තෙපුල් නො බණන්නේ ය. එය සිවුවැන්න ය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උතුරුසඟ සිවුර එකස් කොට භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්යවතුන් වහන්සේ, මට වැටහේ. සුගතයන් වහන්සේ, මට වැටහෙයි. මෙය භාග්යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
වඞ්ගීස, තට වැටහේවා යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි භාග්යවතුන් වහන්සේට ප්රශංසා කළේ ය:
යම් වදනක් කරණ කොට ගෙණ තාමත් නො තවන්නේ ද, මෙරමාත් නො වෙහෙසන්නේ ද, ඒ වදන ඒකාන්තයෙන් සුභාෂිත නම් වේ. ඒ වාදන ම බෙණෙන්නේ ය.
යම් වදනක් ප්රිය කරණ ලද ද, යම් වදනක් බණන්නේ අනුන්ට අප්රිය පරොස් බස් නො ගෙණ. ප්රියවදන් ම බෙණේ ද, (එබඳු) ප්රියවදන් ම බෙණෙන්නේ ය.
සැබෑ වදන ඒකාන්තයෙන් අමා වදන ය. මේ දහම පැරණි ය. සජ්ජනයෝ සත්යයෙහි ද අර්ත්ථයෙහි ද ධර්මයෙහි ද පිහිටියෝ යයි කියත්.
බුදුරජානන් වහන්සේ නිවණට පැමිණීම පිණිස ද දුක් කෙළවර කිරීම පිණිස ද නිර්භය වූ යම් වදනක් වදාරණ සේක් ද, ඒ වදන වදන් අතුරෙන් ඒකාන්තයෙන් උතුමි.
8. 1. 6.
සාරිපුත්ත සූත්රය
214. එක්කලෙක ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවෝ පරිපූර්ණ වූ පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදව්යඤ්ජන ඇති අර්ත්ථය හැඟවීමට සමර්ත්ථ වූ දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වාත්, (ඔවුන්) සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙත්, ඒ භික්ෂූහු ද අර්ත්ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් ඇතුළත් කොට යොමු කළ කන් ඇත්තෝ දහම් අසත්.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “මේ ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ පරිපූර්ණ වූ වචන ඇති පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදඛ්යඤ්ජන ඇති අරුත හැඟවීමට සමත් වූ දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කරවත්,, ඒ භික්ෂූහු ද අර්ත්ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් සමනා කොට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්. මම ආයුෂ්මත් ශාරීපුත්ර තෙරුන්ට සුදුසු ගාථායෙන් ඉදිරියෙහි ප්රශංසා කරන්නෙම් නම් ඉතා මැනවැ”යි මේ අදහස වි ය.