8. 1. 2.
අරති සූත්රය
210. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්යාය වූ ආයුෂ්මත් නිග්රෝධකප්ප තෙරුන් සමග වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නිග්රෝධකප්ප තෙරණුවෝ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු වෙහෙරට පිවිසෙති. සවස හෝ පසුදින පිඬු සිඟන වේලෙහි හෝ නික්මෙති. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනභිරතියෙක් උපන්නේ වෙයි. රාගය සිත වනසයි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “යම්බඳු මට අනභිරතියෙක් උපන්නේ ද, රාගය සිත වනසා ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒකාන්තයෙන් මට ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මට නපුරු ලැබීමෙකි. ඒකාන්තයෙන් මට මනා ලැබීමෙක් නොවේ. යම් හෙයකින් මෙරමා අනභිරතිය දුරු කොට අභිරතිය උපද වන්නේ නම් එය මෙහිලා කොයින් ලැබිය හැකි ද, මම තමාගේ අනභිරතිය තෙමේ ම දුරු කොට අභිරතිය උපදවන්නෙම් නම් මැනැවැ”යි මේ අදහස විය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ම තමා ගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවා ඒ වෙලාවෙහි මේ ගාථා කී ය.
යමෙක් (සස්නෙහි) නො ඇල්ම ද (පස්කම් ගුණයෙහි) ඇල්ම ද ගෙහනිඃශ්රිත වූ පාපවිතර්ක ද සර්වප්රකාරයෙන් දුරු කොට කිසි අරමුණෙක්හි කෙලෙස් නමැති මහවනය නො කරන්නේ ද, කෙලෙස්වන නැති තෘෂ්ණාරති නැති හෙ තෙමේ භික්ෂු නම් වේ.
මේ ලෝකයෙහි පොළොව ඇසුරු කළා වූ ද, අහස ඇසුරු කළා වූ ද, ලෝකයෙහි ඇතුළත් වූ යම්කිසි රූපයෙක් වේ ද, ඒ සියල්ල සහමුලින් දිරයි. අනිත්ය යි. මෙසේ දැන දන්නා ලද අත්බැව් ඇත්තෝ වෙසෙත්.
ජනයෝ උපධීන්හි ද ඇසින් දුටු රූපයෙහි හා කණින් අසූ ශබ්දයෙහි ද ප්රතිඝසඞ්ඛ්යාත ගන්ධ රස දෙක්හි ද ඵොට්ඨබ්බාරම්මණයෙහි ද ගිජු වූවාහු වෙත්. යමෙක් මේ පඤ්චකාමයෙහි ආශාව දුරු කොට අශා නැත්තේ මෙහි නො ඇලේ ද, ඔහු මුනි යයි කියත්.
වැලි සාරමුණු ඇසුරු කළ බොහෝ වූ අධර්මවිතර්කයෝ ප්රජාව කෙරෙහි වැදගත්තාහු වෙත්. කිසිතැනෙක ක්ලේශවර්ගයට පැමිණියෙක් නො වන්නේ ද, දුළුල් තෙපුල් බණන්නෙක් නොවන්නේ ද, හෙ තෙමේ භික්ෂු නම් වේ.
පණ්ඩිත වූ දිගුකලක් මුළුල්ලෙහි සමාහිත සිත් ඇති කුහක නො වූ පරිණතප්රඥාවත් වූ තෘෂ්ණා රහිත වූ භික්ෂු තෙමේ නිවණට පැමිණියේ ය. නිවන් නිසා කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ සකන්ධපරිනිර්වාණ කාලය අපේක්ෂා කෙරෙයි.
8. 1. 3.
පෙසල අතිමඤ්ඤනා සූත්රය
211. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්යාය වූ ආයුෂ්මත් නිග්රෝධකප්ප තෙරුන් සමග වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ තමාගේ ප්රතිභානයෙන් අනෙක් ප්රියශීල භික්ෂූන් හෙළා දකියි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස හට “යම්බඳු මම තමාගේ ප්රතිභානයෙන් අනෙක් ප්රියශීල භික්ෂූන් අවමන් කෙරෙම් ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒ මට ඒකාන්තයෙන් ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මා විසින් නපුරක් ලබන ලද්දේ ය. මා විසින් ඒකාන්තයෙන් යහපතෙක් නො ලබන ලද්දේ ය”යි මේ අදහස වි ය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ තෙමේ ම තමාට විපිළිසර උපදවා ඒ වේලාවෙහි මේ ගාථා කී ය.
ගෞතමය, මානය දුරු කොට, මානාරම්මණය ද බැහැර කරව. මානාරම්මණයෙහි නිරවශේෂයෙන් මුසපත් වූයේ බොහෝ කලක් විපිළිසර ඇත්තෙක් විය.
ගුණමකුබැවින් වකුනා වූ සත්වයෝ මානයෙන් නැසුනාහු නිරයට වැටෙත්. මානයෙන් විනෂ්ට ව නිරයට පැමිණි ඒ සත්වයෝ බොහෝ කලක් ශෝක කෙරෙත්.
(මාර්ගයෙන් දිනූ කෙලෙස් ඇති බැවින්) මග්ගජින නම් වූ මොනවාට පිළිපන් මහණ තෙමේ කිසි කලෙකත් ශෝක නො ම කෙරෙයි. කීර්තිය ද සුවය ද අනුභව කෙරෙයි. ස්ථිරසිත් ඇති උන්වහන්සේ ධම්මදසයයි කියත්.
එහෙයින් මේ ශාසනයෙහි චේතෝඛිල නැති ප්රධන්වීර්ය්යය ඇති (භික්ෂු තෙමේ) නීවරණයන් දුරු කොට පිරිසිදු වූයේ වෙයි. සියලු මානය පහ කොට (අර්හන්මාර්ග) විද්යාවෙන් (කෙලෙස්) කෙළවර කරන්නෙක් වෙයි. සන්හුන්නෙක් ද වෙයි.