8. 1. 12.
වඞ්ගීස සූත්රය
220. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසස්ථවිර තෙමේ රහත්බවට පැමිණි නොබෝකල් ඇත්තේ වේ. විමුක්තිසුවය විඳිනේ ඒ වේලාවෙහි මේ ගාථා කී ය.
පෙර කවිකිරීමෙන් මත් ව ගමින් ගම ද නුවරින් නුවර ද හැසුරුනෙමු. ඉක්බිති බුදුරජානන් වහන්සේ දුටු වෙමු. (එයින්) අපට ශ්රද්ධාව උපනි.
ඒ බුදුරජානන් වහන්සේ ස්කන්ධායතනධාතූන් ප්රකාශ කෙරෙමින් මට දහම් දෙසූ සේක. මම උන්වහන්සේගේ ධර්මය අසා සස්නෙහි පැවිදි වීමි.
යම් කෙනෙක් නියාමධර්මයට පැමිණියෝ ද, නියාමධර්මය දක්නෝ ද බොහෝ වූ ඒ භික්ෂූන්ට ද භික්ෂුණීන්ට ද වැඩ පිණිස මුනීන්ද්රයන් වහන්සේ බුද්ධත්වයට පැමිණි සේක.
මම ඒකාන්තයෙන් යහපත් ඊමෙක් විය. මා විසින් බුදුරජානන් වහන්සේ සමීපයෙහි ත්රිවිද්යාවෝ ලබන ලදහ. සර්වඥයන් වහන්සේගේ ශාසනය කරණ ලද්දේ ය.
පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස වෙසෙසින් පිරිසිදු කරණ ලද්දේ ය. ත්රිවිද්යා ඇත්තෙම් ඍද්ධිවිධඥානයට පැමිණියෙම් චේතෝපරියඤාණයෙහි දක්ෂ වූයෙම් වෙමි.
වඞ්ගීස වර්ගය පළමුවැනි යි.
එහි උද්දානය:
නික්ඛන්ත, අරති, පෙසල, අතිමඤ්ඤනා, ආනන්ද, සුභාසිත, සාරිපුත්ත, පවාරණ, පරොසහස්ස, කොණ්ඩඤ්ඤ, මොග්ගල්ලාන, ගග්ගර, වඞ්ගීස යයි සූත්ර දොළසෙකි.
වඞ්ගීස සංයුත්තය නිමියේ ය.
9. වන සංයුත්තය
1. වන වර්ගය
9. 1. 1.
විවෙක සූත්රය
221. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ පස්කම්සුව ඇසුරු කළ ලාමක අකුසල් සිතිවිලි සිතයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ, ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
විවේකය කැමති ව වනයට පිවිසියේ වෙහි ය. එහෙත් ඔබගේ සිත පිටත හැසිරෙයි. ජනයෙක් වූ ඔබ අන්යජනයා කෙරෙහි ඡන්දරාගය දුරු කරව. එහෙයින් පහ ව ගිය රාග ඇත්තේ සැප ඇත්තෙක් වන්නෙහි ය.
අනභිරතිය දුරු කරව. සිහි ඇත්තෙක් වෙව. ඔබ සිස්හි ඇත්තෙකැ යි, නොහොත් ඒ සත්පුරුෂධර්මය යයි අදහමු. පාතලසඞ්ඛ්යාත කෙලෙස්රජස් තරණය කිරීමට දුෂ්කර ම ය. කාමරාගරජස් ඔබ (අපායට) නො හෙළාවා.
පස් තැවරුණා වූ පක්ෂියෙක් (පියාපත්) සලමින් (ශරීරයෙහි) ඇලුනු දූවිලි යම් සේ හෙළා ද, එසේ ම ප්රධන් වීර්ය්යය ඇති ස්මෘතිමත් වූ මහණ තෙම (ස්වාසන්තානය) ඇසුරු කළ (කෙලෙස්) රජස් සලමින් හෙළයි.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවේගයට (ඔතප්බියට) පැමිණියේ ය.
9. 1. 2.
උපට්ඨාන සූත්රය
222. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණෙ තෙමේ දිවාවිහාරයට ගියේ නිදයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ, ඒ මහණහට සංවේගදන්වනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය.