8. 1. 11.
ගග්ගරා සූත්‍රය
219. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟන ද සත්සියක් උවසුවන් ද නොයෙක් දහස්ගණන් දෙවියන් ද සමග වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්‍ණයෙන් ද, යශසින් ද, ඔවුන් අබිබවා බබලන සේක.
එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟන ද සත්සියක් උවසුවන් ද නොයෙක් දහස්ගණන් දෙවියන් ද සමග වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්‍ණයෙන් ද, යශසින් ද, ඔවුන් අබිබවා බබලන සේක. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට හමුවෙහි ප්‍රශංසා කරන්නෙම් නම් මැනවැයි මේ අදහස විය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා!යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට ඉදිරියෙහි පැසසී ය.
පහව ගිය වලාකුළු ඇති අහස්හි සඳුත් නිර්‍මල වූ හිරුත් යම්සේ බබලද්ද, මහාමුනි වූ බුදුරජානන් වහන්ස, මුබවහන්සේ ද, එසේ ම යශසින් සියලු ලෝකයා අබිබවා බබලන සේක.
8. 1. 12.
වඞ්ගීස සූත්‍රය
220. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසස්ථවිර තෙමේ රහත්බවට පැමිණි නොබෝකල් ඇත්තේ වේ. විමුක්තිසුවය විඳිනේ ඒ වේලාවෙහි මේ ගාථා කී ය.
පෙර කවිකිරීමෙන් මත් ව ගමින් ගම ද නුවරින් නුවර ද හැසුරුනෙමු. ඉක්බිති බුදුරජානන් වහන්සේ දුටු වෙමු. (එයින්) අපට ශ්‍රද්ධාව උපනි.
ඒ බුදුරජානන් වහන්සේ ස්කන්‍ධායතනධාතූන් ප්‍රකාශ කෙරෙමින් මට දහම් දෙසූ සේක. මම උන්වහන්සේගේ ධර්‍මය අසා සස්නෙහි පැවිදි වීමි.
යම් කෙනෙක් නියාමධර්‍මයට පැමිණියෝ ද, නියාමධර්‍මය දක්නෝ ද බොහෝ වූ ඒ භික්‍ෂූන්ට ද භික්‍ෂුණීන්ට ද වැඩ පිණිස මුනීන්‍ද්‍රයන් වහන්සේ බුද්ධත්‍වයට පැමිණි සේක.
මම ඒකාන්තයෙන් යහපත් ඊමෙක් විය. මා විසින් බුදුරජානන් වහන්සේ සමීපයෙහි ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. සර්‍වඥයන් වහන්සේගේ ශාසනය කරණ ලද්දේ ය.
පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස වෙසෙසින් පිරිසිදු කරණ ලද්දේ ය. ත්‍රිවිද්‍යා ඇත්තෙම් ඍද්ධිවිධඥානයට පැමිණියෙම් චේතෝපරියඤාණයෙහි දක්‍ෂ වූයෙම් වෙමි.
වඞ්ගීස වර්‍ගය පළමුවැනි යි.