4. 2. 3.
සකලික සූත්‍රය
149. මා විසින් අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ජී නම් මුවවෙනෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්කඩෙකින් පහරණ ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට ශරීරයේ හටගත් දැඩි රළු කුළු නොමිහිරි නොකල් මහත් දුක් වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සිවුගුණ කොට පණවා දකුණු පා මත වම් පා මඳක් හයා තබා සිහි නුවණ ඇති ව දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක.
එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මුළා බැවින් හෝ කවිභාවයෙන් මත්වූයේ හෝනෙහි නු? මුබට බොහෝ වූ වැඩ නැත් ද? ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි නිදිබර මුහුණු ඇති ව හුදෙකලාව ම කුමක් හෙයින් හෝනෙහි ද?
[භගවත්හු:]
මුළා බැවින් නො නිදමි. කවිභාවයෙන් මත්වූයෙම් නො නිදමි. මම පරමාර්‍ත්‍ථයට මැනවින් පැමිණ පහ ව ගිය ශෝක ඇත්තෙම් වෙමි. මම සර්‍වභූතහිතානුකම්පී ව ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි හුදෙකලාව හෝනෙමි.
යම් කෙනකුන්ගේත් ලෙහි තියුණු හුලෙක් පිවිසියේ ද, හෘදය ක්‍ෂණ ක්‍ෂණයෙහි සැලෙන්නේ වේ ද, මේ ලෝකයෙහි (ඒ රාගාදි) හුල් ඇති ඔහු ද නිදි ලබත්. පහව ගිය (රාගාදී) හුල් ඇති මම කුමක් හෙයින් නො නිදම් ද!
නිදි වරන්නෙම් ද සැක නො කරමි. නිදන්නටත් නොබමි. රෑදාවල්හු මා නහමක් තවත්. ලොව කිසිතැනෙක (මාගේ) පිරිහීමක් නො දකිමි. එහෙයින් සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරණ සුලු වූයෙම් හෝනෙමි.
එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී … එහි ම අතුරුදහන් විය.
4. 2. 4.
පතිරූප සූත්‍රය
150. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි ඒකසාල නම් බමුණුගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.
ඉක්බිති පවිටු මරුහට මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) පැණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි! මේ අදහස වි ය. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
යම් හෙයකින් මෙරමාහට අනුශාසනා කෙරෙහි ද, එය මුබට සුදුසු නො වේ. එය කෙරෙමින් රාග ප්‍රතිඝ දෙක්හි නො ලැගව.
[භගවත්හු:]
යම් හෙයකින් සර්‍වඥ තෙමේ හිතානුකම්පා ඇති ව මෙරමාහට අනුශාසනා කෙරේ ද, (ඒ) තථාගත තෙමේ රාග ප්‍රතිඝ දෙකින් විශේෂයෙන් මිදුනේ වේ.
ඉක්බිති පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.
4. 2. 5.
මානස සූත්‍රය
151. මා විසින් අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
අන්තරික්‍ෂචර වූ (අහස හැසිරෙන්නවුන් පවා බඳනා වූ) සිත්හි හටගත්තා වූ යම් මේ (රාග) පාශයෙක් හැසිරේ ද, එයින් මුබ පෙළන්නෙමි. මහණ, මාගේ විෂයයෙන් නො මිදෙන්නෙහි ය.
[භගවත්හු:]
සිත්කලු වූ රූපයෝ ය, ශබ්දයෝ ය, රසයෝ ය, ගන්‍ධයෝ ය, ස්ප්‍රෂ්ටව්‍යයෝ ය, යන මේ පඤ්චකාමවස්තූන් කෙරෙහි වූ මගේ රාගය පහවූයේ ය. මරුව නො නටුයෙහි.
ඉක්බිති පවිටු මරු … එහි ම අතුරුදහන් වි ය.
4. 2. 6.
පත්ත සූත්‍රය
152. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්‍ධ පස පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. සමාදානයෙහි උත්සාහවත් කරණ සේක. හිත හර්‍ෂ ගන්වන සේක. ඒ භික්‍ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇති ව බණ අසත්.