4. 1. 6.
සප්ප සූත්රය
142. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල භාග්යවතුන් වහන්සේ රෑ බොල්අඳුරෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකිඑකි පොද හෙළයි.
එකල පවිටු මාර තෙමේ භාග්යවතුන් වහන්සේ බිය තැතිගැන්ම ලොමුදහගැන්ම උපදවනු කැමැත්තේ මහත් නාරජවෙසක් මවාගෙණ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ සිරුර එක්රුක්නෙන් මැවූ මහ ඔරුවක් බඳු වෙයි. ඔහුගේ පෙණය රාකරුවන්ගේ රා පෙරණ මහත් මටුලුකස්සක් බඳු වෙයි. ඔහුගේ ඇස් කොසොල්රජුගේ මහත් කස්තලියක් (භූඤ්ජනපාතියක්) බඳු වෙයි. මේඝය ගිගිරි කරණ කල යම්සේ විදුලිය නික්මේ ද, එපරිද්දෙන් ඔහුගේ මුවෙන් දිව නික්මෙයි. කඹුරුසම වයින් පුරණ කල්හි ශබ්දය යම්සේ ද, ඔහුගේ ආශ්වාසප්රශ්වාස ශබ්දය ද එබඳු වෙයි.
එකල්හි භාග්යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:
යමෙක් ශයනය පිණිස ශුන්යාගාරයන් සෙවුනේ ද, ඒ බුද්ධමුනි තෙමේ සංයත වූ ආත්මභාව ඇත්තේ වේ. හෙ තෙමේ ඒ ආත්මභාවයෙහි (ආලය) හැරපියා හැසිරෙන්නේ ය. එය එබඳු බුද්ධමුනිහට සුදුසු මැයි.
(සිංහව්යාඝ්රාදි) බිහිසුණු ජඞ්ගම සත්තු ද බොහෝහ. බිහිසුණු ස්ථාවර අරමුණු ද බොහෝහ. වැලි ඩැහැ ලේ බොන මැස්සෝ ද සර්පයෝ ද බොහෝහ. ශුන්යාගාරයට වන් සර්වඥමුනි තෙමේ ඒ අරමුණු නිමිති කොට ලෝම මාත්රයකුදු කම්පන නො කරන්නේ ය.
අහස පැළෙන්නේ නම්, පොළොව සැලෙන්නේ නම්, වැලිත් සියලු සත්තු තැතිගන්නාහු නම්, ඉදින් ලෙහි තියුණු හුල් ගසන්නාහු නම්, බුදුවරයෝ උපධීන් කෙරෙහි පරිත්රාණයක් නො කෙරෙති.
එකල්හි පවිටු මරු භාග්යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 7.
සොප්පසි සූත්රය
143. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් අබවස සක්මන් කොට රෑ පහන් වේලෙහි පා දෙව වෙහෙරට පිවිසි (දකුණු) පය මත (වම) පය මඳක් හැදැ තබා සිහි නුවණ ඇති ව නැගී සිටුනා වෙලාව මෙනෙහි කොට දකුණැළයෙන් සිංහශය්යාව කළ සේක.
එකල්හි පවිටු මරු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කිම නිදයි ද? කුමක් හෙයින් නිදයි ද? මළ එකකු මෙන් කුමකට නිදයි ද? ශුන්යාගාරයක් මා විසින් (ලදැ) යි නිදයි ද? කුමක් හෙයින් හිරු නැගි කල්හි නිදයි ද?
[භගවත්හු:]
යමකුගේ ජාලිනී නම් වූ විසත්තිකා නම් වූ තෘෂ්ණා තොමෝ කිසි භවයෙක්හි පමුණුවන්නට නැද් ද, ඒ සර්වඥ තෙමේ සියලු උපධීන් ක්ෂය කිරීමෙන් හොවී. මරුව, මෙහිලා තට කිම?
ඉක්බිති පවිටු මරු භාග්යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීය යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.
4. 1. 8.
නන්දති සූත්රය
144. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි පවිටු මාර තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
දරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ සතුටු වෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ සතුටු වෙයි. උපධීහු මිනිසාගේ නන්දනයෝ ය. යමෙක් උපධි රහිත වේ නම් හෙ තෙමේ සතුටු නො වෙයි.
[භගවත්හු:]
දරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. උපධීහු මිනිසාගේ ශෝචනයෝ ය. යමෙක් උපධි රහිත නම් හෙ තෙමේ ශෝක නො කෙරේ මැයි.
ඉක්බිති පවිටු මරු භාග්යවත් තෙමේ මා දනී. … එහි ම අතුරුදහන් වි ය.