4. 1. 10.
දුතිය ආයු සූත්රය
146. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ ස්වල්ප ය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය. උපන්නහුට නො මැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කල් ජීවත් වේ ද, හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වෙයි.
එකල්හි පවිටු මාරයා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
රෑ දහවල් ඉක්ම නො යෙත්. ජීවිතය නිරුද්ධ නොවේ. මිනිසුන්ගේ ආයුෂ (ඔවුන්) අනුව ම යේ. රියෙහි කිඹුල්මුව අනුව යන රියනිම්වලල්ල මෙනි.
[භගවත්හු:]
රෑ දහවල් ඉක්ම යෙත්. ජීවිතය නිරුද්ධ වේ. මිනිසුන්ගේ ආයුෂය ගෙවේ. කුඩා නදීන්ගේ දිය මෙනි.
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීයි දුකට පත්වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.
ආයුවර්ගය පළමුවැනි යි.
එහි උද්දානය:
තපෝ කම්ම සූත්රය ද නාග සූත්රය ද සුභ සූත්රය ද ඒ පාස සූත්ර දෙක ද සප්ප, සොප්පසි, නන්දති සූත්ර ද, අනෙක් ආයු සූත්ර දෙකදැ යි සූත්ර දශයකි.
2. රජ්ජ වර්ගය
4. 2. 1.
පාසාණ සූත්රය
147. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පවුවෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ රෑ බොල්අඳුරුයෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකි එකි පොද හෙළයි.
එකල්හි පවිටු මාරයා භාග්යවතුන් වහන්සේට බිය තැතිගැනුම ලොමුදහගැණුම උපදවනු කැමැත්තේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ නොදුරෙහි මහත් මහත් ගල් විහිටි.
එකල්හි භාග්යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යී දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක:
ඉදින් මේ මුළු ගිජුකුළුපවුව ම සලනෙහි නම්, මොනොවට මිදුනු බුදුවරයන්ට කම්පනයෙක් නහමක් ඇත් මැ ය.
ඉක්බිති පවිටු මාරයා භාග්යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය යි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 2. 2.
සීහ සූත්රය
148. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.
එකල්හි පවිටු මරුට “මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) නුවණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු”යි මේ අදහස වි ය. ඉක්බිති පවිටු මරු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය: