2. 3. 9.
සුසීම සූත්‍රය
110. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, තොපට ද ශාරිපුත්‍ර තෙමේ නුරුස්නේ දැ” යි මෙය වදාළ සේක.
වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද? වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ මහාප්‍රාඥායහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෘථුප්‍රාඥාය හ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හාසබහුල ප්‍රාඥාවෙන් යුක්තයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ජවනප්‍රාඥාවෙන් යුක්තයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තීක්‍ෂණප්‍රාඥයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නිර්වේදිකප්‍රඥා ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අලේපච්ඡයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සන්තුෂ්ටයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ප්‍රකර්‍ෂවිවේක ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අසංශෘෂ්ටයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වක්තෲහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ චචනක්‍ෂමයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ චෝදකයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හීය. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද?
ආනන්‍දය, එය එසේ ය. ආනන්‍දය, එය එසේ ය. ආනන්‍දය, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ශාරීපුත්‍ර තෙමේ නුරුස්නේ ද? ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පණ්ඩිත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ මහාප්‍රාඥ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පෘථුප්‍රාඥා ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ හාසබහුල ප්‍රාඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ ජවනප්‍රාඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ තීක්‍ෂණප්‍රඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ නිර්වේදිකප්‍රඥාවෙන් යුක්ත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ අලේපච්ඡ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ සන්තුෂ්ට ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ ප්‍රකර්‍ශවිවේකයෙන් යුක්ත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ අසංශෘෂ්ට ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ වක්තෘ ය. ආනන්‍ද, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ වචනක්‍ෂම ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ චෝදක ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පාපගර්හී ය. ආනන්‍ද, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ශාරීපුත්‍ර තෙමේ නුරුස්නේ ද?
ඉක්බිති සුසීම දෙව්පුත් තෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබනු කල්හි මහත් දෙව්පුත්පිරිස විසින් පිරිවරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සුසීමදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද? වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. … වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හී හ. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද?
වහන්ස, මම ද යම් යම් දෙව්පුත් පිරිසකට එළඹුනෙම් ද, “ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. … ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හීහ. බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද” යන මේ ශබ්ද ය ම බහුල වශයෙන් අසමි.
ඉක්බිත්ව සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තාහු ප්‍රමුදිත වූවාහු හටගත් ප්‍රීතිසොම්නස් ඇත්තාහු නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
ශුභ වූ ජාතිමත් වූ අටැස් වෙරළුමිණෙක් මැනවින් පිරියම් කරණ ලද්දේ රත්පලසෙක තබන ලද්දේ යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද. එපරිද්දෙන් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තාහු ප්‍රමුදිත වූවාහු ප්‍රීතිසොම්නස් ඇත්තාහු නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
දක්‍ෂරන්කරු පුතකු විසින් කෝවාමුවෙහි මොනවට පිස ශුද්ධ කරණ ලද දඹරන්මුවා නිකෙක් රත්පලසෙක තබන ලද්දේ යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස … නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
ශරත් කල රෑ අලුයම පහ වූ වලාකුල් ඇති අහස පිරිසිදු වූ කල්හි පහන්තරුව යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස … නන් වැදැරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
ශරත් කල පහ වූ වලාකුල් ඇති අහස පිරිසිදු වූ කල්හි හිරු අහසට නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර නසා යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීම දෙව්පුත්හුගේ දෙව්පුත් පිරිස … නන් වැදැරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
සුසීම දෙව්පුත් තෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය: