3. නානාතිත්ථිය වර්ගය
2. 3. 1.
සිව සූත්රය
102. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි මනා ඡවිවර්ණ ඇති සිව දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සිව දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්ර සන්ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (සිටියහුට) අභිවෘද්ධියෙක් වෙයි. පිරිහීමෙක් නො වෙයි:
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්ර සන්ථවය කරන්නේ ය. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන (සිටියහුට) ප්රඥාව ලැබෙයි. අනෙකෙකින් නො ලැබෙයි.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්ර සන්ථවය කරන්නේ ය. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන (සිටියේ) ශෝක කාරණයන් මැද ශෝක නො කෙරේ.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්ර සන්ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (සිටියේ) නෑයන් මැද වෙසෙසින් බබලයි.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්ර සන්ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (සිටි) සත්ත්වයෝ සුගතියට යෙත්.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්ර සන්ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (ගත්) සත්වයෝ බොහෝ කල් සුවසේ සිටිත්.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සිව දෙව්පුත්හට ගාථායෙකින් වදාළ සේක.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්ර සන්ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (සිටියේ) සියලු දුකින් මිදෙයි.
2. 3. 2.
ඛේම සූත්රය
103. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඛේම දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය.
නුවණ නැති බාලයෝ යම් කර්මයක් නපුරු විපාක ඇත්තේ වේ නම් එබඳු අකුශලකර්ම කෙරෙමින් තමනට සතුරකු වැනි වූ පන්චස්කන්ධයෙන් යුක්ත ව හැසිරෙත්.
යම් කර්මයක් කොට තැවේද? යම් කර්මයක්හුගේ විපාකය කඳුළෙන් තෙත් මුහුණු ඇති ව හඬමින් සෙවුනේ ද, එබඳු අකුසලකර්ම කරණ ලද්දේ නො මැනවි.
යම් කර්මයක් කොට නො තැවේද? යම් කර්මයක්හුගේ විපාකය පිණා ගියේ මනාසිතැතියේ සෙවුනේ ද, එබඳු කර්මය කරණ ලද්දේ මැනවි.
[භගවත්හු:]
යමක් තමහට හිතයයි දන්නේ නම් එය පළමු කොට ම කරන්නේ ය. නුවණැති ධෘතිසම්පන්න පුද්ගල තෙමේ සාකටිකචේතනායෙන් තැත් නො කරන්නේ ය.
ගැල්කරු තෙමේ යම්සේ සම මග වූ මහමග හැර විෂම මගට නැගී සුන් අකුරු ඇත්තේ බලවත් සිතිවිලි සිතා ද,
මඳ නුවණැති පුද්ගල තෙමේ එපරිද්දෙන් දහමින් ඉවත් ව අධර්මයට බැස ගෙණ මරුමුවට පැමිණියේ සුන් අකුරු ඇත්තකු මෙන් සිතිවිලි සිතයි.
2. 3. 3.
සේරී සූත්රය
104. සැවැත්නුවර–
එකත්පසෙක සිටි සේරී දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
දෙව්මිනිස් දෙකොටස ආහාරය ම පතත්, යම්හෙයකින් ආහාරය නො පතා නම් ඒ කවර සත්ත්වයෙක් ද?
[භගවත්හු:]
යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙත් ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.
එහෙයින් මසුරුමල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්වයන්ට පරලොව පිහිට වේ.
වහන්ස, ආශ්චර්ය්යයෙකි. වහන්ස, අත්භුතයෙකි. වහන්ස, මෙය භාග්යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරණ ලද්දේ ම ය: