2. 3. 10.
නානාතිත්ථියසාවක සූත්රය
111. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක.
එකල්හි නොයෙක් නොයෙක් තීර්ත්ථකයන් ගේ ශ්රාවක වූ මනා ඡවිවර්ණ ඇති අසම ද සහලි ද නිඞ්ක ද ආකොටක ද වෙටම්බරි ද මානවගාමිය ද යන බොහෝ දෙව්පුත්හු රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු වේළුවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි අසම දෙව්පුත් තෙමේ පූරණකාශ්යප ඇරබ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
කසුප් ශාස්තෘ තෙමේ සිඳීමෙහි ද මැරීමෙහි ද පෙළීමෙහි ද ධනහානියෙහි ද තමහට පවක් හෝ පිනක් හෝ නො දකියි. හෙ තෙමේ ඒකාන්තයෙන් විශ්වාසය කී ය. (එහෙයින්) බුහුමනට සුදුසු ය.
ඉක්බිති සහලී දෙව්පුත් තෙමේ මක්කලිගොසල ඇරබ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
(කය පෙළන) තපසින් හා පවට පිළිකුල් කිරීමෙන් යුක්ත වූ හෙ තෙමේ ජනයා සමග කලහ වචන හැර මුසාවාදයෙන් තොර වූයේ සැබෑ තෙපුල් කියන සුලු වූයේ එබඳු ගුණ ඇත්තේ ඒකාන්තයෙන් පවක් නොම කෙරෙයි.
ඉක්බිති නිඞ්ක දෙව්පුත් තෙමේ නිගණ්ඨනාථපුත්ර ඇරබ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
පවට පිළිකුල් කරණ නුවණැති සසර භය දක්නා චාතුයාමසංවරයෙන් යුත් (නිගණ්ඨනාථපුත්ර තෙමේ) දක්නා ලද්ද ද, අසන ලද්ද ද කියන්නේ ඒකාන්තයෙන් පව් කරන්නෙක් නො ම වන්නේ ය.
ඉක්බිති ආකොටක දෙව්පුත් තෙමේ නොයෙක් තීර්ත්ථකයන් ඇරබ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
පකුධකාත්යායන තෙමේ ද නිගණ්ඨනාතපුත්ර තෙමේ ද යම් මේ මක්ඛලිගෝසාල පූරණකාස්සප දෙදෙනා ද යන ගණයාට ශාස්තෘ වූ මහණ කමෙහි කෙළ පැමිණි ඔහු ඒකාන්තයෙන් සත්පුරුෂයන් ගෙන් දුර නොවෙත්.
ඉක්බිති වෙටම්බරී දෙව්පුත් තෙමේ ආකොටක දෙව්පුත්හට ගාථායෙන් පෙරළා කී ය.
කොත්ථුක නම් වූ ලාමක කළුසිවල් තෙමේ එක ව හැසිරීමෙන් කිසි කලෙකත් සිංහයෙකු හා සම නො වේ. එහෙයින් නග්න වූ බොරු කියන සුලු වූ සැක කට යුතු හැසුරුම් ඇති ගණශාස්තෘ තෙමේ බුද්ධාදි සත්පුරුෂයන්ට සම නො වේ.
ඉක්බිති පවිටු මාර තෙමේ වෙටම්බරී දෙව්පුත්හට ආවිෂ්ට ව භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
තපසෙහි ද පවට පිළිකුල් කිරීමෙහි ද විවේක බව රකින රූපයෙහි පිහිටි යම් කෙනෙක් දෙව්ලොව පතත් ද, ඒ මනුෂ්යයෝ ඒකාන්තයෙන් පරලොව පිණිස මැනවින් අනුශාසනා කෙරෙත්.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ පවිටු මාරයා ය යි දැන පවිටු මාරයහට ගාථායෙන් පෙරළා වදාළ සේක:
මෙලොව හෝ පරලොව හෝ අහසෙහි හෝ පැහැපත් වර්ණ ඇති යම් කිසි රූපයෝ වෙද්ද, මාරය, ඒ සියල්ලෝ තා විසින් පසස්නා ලදහ. මසුන් නැසීම පිණිස ලූ ඇමක් මෙනි.
ඉක්බිති මානවගාමිය දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ ඇරබ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය.
රජගහනුවර පර්වතයන්ට වෛපුල්යපර්වතය ශ්රේෂ්ඨ ය යි කියනු ලැබේ. හිමවත් පර්වතයන්ට කෛලාසය ශ්රේෂ්ඨ ය. අහසෙහි යන්නවුන්ට සූර්ය්යයා ශ්රේෂ්ඨ ය.
ජලාසයනට මුහුද ශ්රේෂ්ඨ ය. නැකත්තරුවලට සඳ ශ්රේෂ්ඨ ය. දෙවියන් සහිත ලෝකයාහට බුදුරජානන් වහන්සේ ශ්රේෂ්ඨයහ යි කියනු ලැබේ.
නානාතිත්ථිය වර්ගය තුන්වැනි යි.
එහි උද්දානය:
සිව, ඛේම, සේරී, ඝටීකාර, ජන්තු, රෝහිතස්ස, නන්ද, නන්දිවිසාල, සිසීම, නානාතිත්ථියසාවක සූත්ර ය යි ඔහු දශයෙකි.
දේවපුත්තසංයුත්තය සමාප්ත ය.