2. 3. 6.
රෝහිතස්ස සූත්රය
107. සැවැත්නුවර–
එකත්පසෙක සිටි රෝහිතස්ස දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය කී ය:
“වහන්ස, යම්තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද. වහන්ස, ඒ ලෝකයේ කෙළවර පාගමනින් දැන ගන්නට හෝ දක්නට හෝ පැමිණෙන්නට හෝ හැක්කේ ද?” යි.
ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද ඒ ලෝකයේ කෙළවර පාගමනින් දත හැකි ය, දැක්ක හැකි ය, පැමිණිය හැකිය යි මම නො කියමි.
වහන්ස, ආශ්චර්ය්යෙකි, වහන්ස අත්භූතයෙකි. වහන්ස, “ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද ඒ ලෝකයේ කෙළවර පාගමනින් දත හැකි ය, දැක්ක හැකි ය, පැමිණිය හැකිය යි මම නො කියමි” යි යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද්දේ මය,
පෙරවූවක් කියමි. වහන්ස, මම භෝජ පුත්ර වූ ඍද්ධි ඇති අහසින් යන රෝහිතස්ස නම් තවුසෙක් වීමි වහන්ස, ඒ මට දැඩිදුනු ඇති පුහුණු වූ කළ පුරුදු ඇති කළ තරඟ ඇති දැක්වූ ශිල්ප ඇති දුනුවායෙක් සැහැල්ලු ඊතලයෙකින් තල්සෙය සරස නිදුකින් ම යම්සේ ඉක්මවන්නේ ද, එබඳු ජවයෙක් වී ය.
වහන්ස, ඒ මට පෙරදිග මුහුදින් අපරදිග මුහුද යම්සේ දුර ද, එබඳු පා තැබීමෙක් වි ය. වහන්ස, ඒ මට “මම පාගමනින් ලොව කෙළවරට පැමිණෙන්නෙමි”යි මෙබඳු ආශායෙක් උපන.
වහන්ස, ඒ මම මෙබඳු ජවයෙන් යුක්ත වූයෙම් මෙබඳු පදවීතිභාරයෙන් යුක්ත වූයෙම් සියවසක් ආයු ඇත්තෙම් සියවසක් ජීවත්වන සුලු වූයෙම් කන බොන බුදින රස විඳින වෙලාවන් හැර මල මූ පහ කරණ වෙලාවන් හැර නිදන විඩා හරිණ වෙලාවන් හැර සියවසක් ගමන් කොට ලොව කෙළවරට නො පැමිණ ම අතරමගදී ම කලුරිය කෙළෙමි.
වහන්ස, ආශ්චර්ය්යයෙකි, වහන්ස අත්භූතයෙකි. වහන්ස, “ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නැවත නො හටගණී ද, ලෝකයේ ඒ කෙළවර පාගමනින් දතහැකි ය, දැක්කහැකි ය, පැමිණිය හැකි ය යි මම නො කියමි” යි යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද්දේ මය.
ඇවැත්නි, මම ලොව කෙළවරට නො පැමිණ දුක් කෙළවර කිරීමක් නො ම කියමි. ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිනී පටිපදාවත් පණවමි.
පාගමනින් කිසිකලෙක ලොව කෙළවර නො පැමිණිය හැක්කේ ය. ලොව කෙළවරට නො පැමිණ දුකෙන් මිදීමෙකුත් නැත.
එහෙයින් ලොව දන්නා මහානුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවූ මගබඹසර ඇති පව් සංසිඳ වූ පුද්ගල තෙමේ ලොව කෙළවර දැන මේ ලොව ද පරලොව ද නො පතයි.
2. 3. 7.
නන්ද සූත්රය
108. සැවැත්නුවර–
එකත්පසෙක සිටි නන්ද දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
පෙරවරු ආදී කාලයෝ ඉක්ම යෙත්. රාත්රීහු පුද්ගලයා මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්රමයෙන් පුරුෂයා හැර යෙත්. මේ ත්රිවිධභය ,මරණයෙහි ලා දන්නේ සැප එළවන පින් කරන්නේ ය.
[භගවත්හු:]
කාලයෝ ඉක්ම යත්. රාත්රීහු පුරුෂයා මරණය කරා පමුණුවත්. වයෝ රාශීහු අනුක්රමයෙන් පුරුෂයා හැර යත්. මේ බිය මරණයෙහි ලා දක්නේ නිවන් පතනුයේ (භවත්රය සඞ්ඛ්යාත) ලොකාමිසය දුරු කරන්නේ ය.
2. 3. 8.
නන්දිවිසාල සූත්රය
109. සැවැත්නුවර–
එකත්පසෙක සිටි නන්දිවිසාල දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙකින් කී ය.
මහාවීරයන් වහන්ස, (මේ ශරීරයානය) සක් සතරක් ඇත්තේ ය. නවදොරක් ඇත්තේ ය. (අශුචියෙන්) පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපන. එහි නික්ම යෑම කෙසේ වන්නේ ද?
[භගවත්හු:]
රැහැන ද වරපට ද ලාමක ඉච්ඡාව ද ලෝභය ද සිඳ තෘෂ්ණාව සහමුලින් උදුරා (ලීමෙන්) මෙසේ නික්ම යෑම වන්නේ ය.