2. 3. 7.
නන්‍ද සූත්‍රය
108. සැවැත්නුවර–
එකත්පසෙක සිටි නන්‍ද දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
පෙරවරු ආදී කාලයෝ ඉක්ම යෙත්. රාත්‍රීහු පුද්ගලයා මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යෙත්. මේ ත්‍රිවිධභය ,මරණයෙහි ලා දන්නේ සැප එළවන පින් කරන්නේ ය.
[භගවත්හු:]
කාලයෝ ඉක්ම යත්. රාත්‍රීහු පුරුෂයා මරණය කරා පමුණුවත්. වයෝ රාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යත්. මේ බිය මරණයෙහි ලා දක්නේ නිවන් පතනුයේ (භවත්‍රය සඞ්ඛ්‍යාත) ලොකාමිසය දුරු කරන්නේ ය.
2. 3. 8.
නන්‍දිවිසාල සූත්‍රය
109. සැවැත්නුවර–
එකත්පසෙක සිටි නන්‍දිවිසාල දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් කී ය.
මහාවීරයන් වහන්ස, (මේ ශරීරයානය) සක් සතරක් ඇත්තේ ය. නවදොරක් ඇත්තේ ය. (අශුචියෙන්) පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපන. එහි නික්ම යෑම කෙසේ වන්නේ ද?
[භගවත්හු:]
රැහැන ද වරපට ද ලාමක ඉච්ඡාව ද ලෝභය ද සිඳ තෘෂ්ණාව සහමුලින් උදුරා (ලීමෙන්) මෙසේ නික්ම යෑම වන්නේ ය.
2. 3. 9.
සුසීම සූත්‍රය
110. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, තොපට ද ශාරිපුත්‍ර තෙමේ නුරුස්නේ දැ” යි මෙය වදාළ සේක.
වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද? වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ මහාප්‍රාඥායහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෘථුප්‍රාඥාය හ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හාසබහුල ප්‍රාඥාවෙන් යුක්තයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ජවනප්‍රාඥාවෙන් යුක්තයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තීක්‍ෂණප්‍රාඥයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නිර්වේදිකප්‍රඥා ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අලේපච්ඡයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සන්තුෂ්ටයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ප්‍රකර්‍ෂවිවේක ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අසංශෘෂ්ටයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වක්තෲහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ චචනක්‍ෂමයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ චෝදකයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හීය. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද?
ආනන්‍දය, එය එසේ ය. ආනන්‍දය, එය එසේ ය. ආනන්‍දය, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ශාරීපුත්‍ර තෙමේ නුරුස්නේ ද? ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පණ්ඩිත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ මහාප්‍රාඥ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පෘථුප්‍රාඥා ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ හාසබහුල ප්‍රාඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ ජවනප්‍රාඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ තීක්‍ෂණප්‍රඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ නිර්වේදිකප්‍රඥාවෙන් යුක්ත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ අලේපච්ඡ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ සන්තුෂ්ට ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ ප්‍රකර්‍ශවිවේකයෙන් යුක්ත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ අසංශෘෂ්ට ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ වක්තෘ ය. ආනන්‍ද, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ වචනක්‍ෂම ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ චෝදක ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පාපගර්හී ය. ආනන්‍ද, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ශාරීපුත්‍ර තෙමේ නුරුස්නේ ද?