2. 3. 3.
සේරී සූත්‍රය
104. සැවැත්නුවර–
එකත්පසෙක සිටි සේරී දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
දෙව්මිනිස් දෙකොටස ආහාරය ම පතත්, යම්හෙයකින් ආහාරය නො පතා නම් ඒ කවර සත්ත්‍වයෙක් ද?
[භගවත්හු:]
යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙත් ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.
එහෙයින් මසුරුමල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්‍වයන්ට පරලොව පිහිට වේ.
වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අත්භුතයෙකි. වහන්ස, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරණ ලද්දේ ම ය:
“යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙත් ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.
එහෙයින් මසුරුමල මැඬලනසුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්‍වයන්ට පරලොව පිහිට වෙයි” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරණ ලද්දේ ම ය.
පෙර වූවක් කියමි. වහන්ස, මම දායක වූ දානපති වූ දීමෙහි ගුණ කියන සේරී නම් රජෙක් වීමි. වහන්ස, ඒ මගේ (නුවර) සිටු දොරටුවෙහු මහණ බමුණු දුගී මගී වර්‍ණබබ්බක යාචකයන්ට දන් දෙනු ලැබී ය. වහන්ස, එකල්හි අන්තඃපුරය මාවෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් ම දෙනු ලැබේ. අපගේ දන් නොදෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම් පින් කරන්නමෝ නම් මැනව”යි මෙය කී ය.
වහන්ස, ඒ මට “මම වනාහි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි. දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම පළමු වන දොරටුව අන්තඃපුරයට දිනිමි. එහි අතොවුරන්ගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.
වහන්ස, ඉක්බිති සහකාර ක්‍ෂත්‍රියයෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනූ ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. අපගේ දන් නො දෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම් පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය මට කීහ.
වහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම දෙවන දොරටුව සහකාර ක්‍ෂත්‍රියයන්ට දිනිමි. එහි සහකාර ක්‍ෂත්‍රියයන්ගේ දන්දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.
වහන්ස, ඉක්බිති බලසෙනඟ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනු ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. සහකාර ක්‍ෂත්‍රියයන්ගේ දන් දෙනු ලැබේ. අපගේ දන් නො දෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ, පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය කීහ.
වහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනුවනට කුමක් කියන්නෙම් දැ”යී මේ අදහස විය. වහන්ස, ඒ මම තෙවන දොරටුව බලසෙනඟට දිනිමි. එහි බලසෙන්හුගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.
වහන්ස, ඉක්බිති බමුණු ගැහැවියෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනු ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. සහකාර ක්‍ෂත්‍රියයන්ගේ දන් දෙනු ලැබේ. බලසෙන්හුගේ දන් දෙනු ලැබේ.. අපගේ දන් නොදෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම්, පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය කීහ.
වහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම සිව්වන දොරටුව බමුණු ගැහැවියන්ට දිනිමි. එහි බමුණු ගැහැවියන්ගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.