2. 3. 4.
ඝටීකාර සූත්‍රය
105. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඝටීකාර දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
භික්‍ෂුහු සත්නමක් අවිහ බඹලොවට පැමිණියාහු මිදුනාහු රාගදේවෂයන් ක්‍ෂය කළාහු (පඤ්චස්කන්‍ධ) ලෝකයෙහි තෘෂ්ණාව ක්‍ෂය කළාහු ය.
[භගවත්හු:]
තරණය කිරීමට ඉතා දුෂ්කර වූ මච්චුධෙය්‍ය නම් සංසාරයත් (චතුර්විධ) සඞ්ගයනුත් කවුරු කවුරු තරණය කළාහු ද? කිනම් කෙනෙක් මනුෂ්‍යදේහ (සඞ්ඛ්‍යාත ඕරම්භාගිය සංයෝජයන පස) දුරු කොට දිව්‍යයෝග (සඞ්ඛ්‍යාත උද්ධම්භාගිය සංයෝජයන පස) ඉක්ම ගියාහු ද?
[දෙව්පුත්:]
උපක, පලගණ්ඬ, පුක්කුසාති යන තිදෙන ද, භද්දිය, භද්‍දදේව, බාහුදනති, පිඬගිය යන (සිවුදෙන ද) ඔහු මනුෂ්‍යදේහය හැර දිව්‍යයොගය ඉක්ම ගියාහු ය.
[භගවත්හු:]
මාරපාසයන් හැර සිටිය වූ ඔවුන්ට අනවද්‍ය කර්‍ම ඇතියහයි පසස්නෙහි ය. ඔහු කවරකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද?
[දෙව්පුත්:]
ඔහු යමකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද, (ඒ) භාග්‍යවතුන් වහන්සේ නො හැරයි. මුබවහන්සේගේ සසුන ද නො හැරයි.
යම් තැනක නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද, ඔහු මේ සසුනෙහි ඒ නිර්‍වාණ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ය.
[භගවත්හු:]
ගැඹුරු වූ දැන ගැණීමට දුෂ්කර වූ අතිශයින් දුරවබෝධ වූ වචන කියහි. තෙපි කවරකුගේ ධර්‍මය දැන මෙබඳු වචන කියහු ද?
[දෙව්පුත්:]
පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙකිම් වීමි. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසකයෙක් වූයෙම් මවු පියන් පෝෂණය කෙළෙම් වීමි.
මෙවුන්දමින් වෙන් වූයෙම් නිරාමිෂ (=අනාගාමි) බ්‍රහ්මචාර ඇතියෙම් තොප හා එක්ගම විසූයෙම් විමි. පෙර තොපගේ යහළුවෙකිම් වීමි.
ඒ මම රාගදෝසයන් ක්‍ෂය කළ ලොව තෘෂ්ණාව තරණය කළ මිදුනු මේ භික්‍ෂූන් සත් නම දනිමි.
[භගවත්හු:]
භාර්‍ගව, යම්සේ කියහි නම් එකල්හි මෙය එසේ වී ය. පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙක් විය. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසකයෙක් වූයේ මවුපියන් පොෂණය කෙළේ විය.
මෙවුන්දමින් වැළකුනු නිරාමිෂ බඹසර ඇත්තෙක් වූයේ ය. මා හා එක් ගම විසූයෙක් වූයේ ය. පෙර මාගේ යහළුවෙක් විය.
[තෙරහු:]
වඩන ලද සිත් ඇති අන්තිම සිරුර දරණ පැරණි යහළුවන් දෙදෙනෙකුන්ගේ මේ එක් වීම මෙසේ විය.
2. 3. 5.
ජන්තු සූත්‍රය
106. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙස වනකිළියෙක උඩනු වූ නගා ගත් මාන නළ ඇති චපල වූ රළු වචන ඇති දොඩමලු වූ මුළා වූ සිහි ඇති මනා නුවණ නැති නොඑකඟ සිත් ඇති නොසන්සුන් සිත් ඇති පියවි ඉඳුරන් ඇති බොහෝ භික්‍ෂූහු වෙසෙත්.
එකල්හි ජන්තු දෙව්පුත් තෙමේ පුණුරැසි පොහොය වූ එදින ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට ගාථාවලින් කීය:
පෙර ආශා රහිත ව පිඬු සොයන ආශා රහිත ව සෙනසුන් සොයන ගොයුමු සව් වූ මහණහු සුඛජීවී වූහ. ඔහු ලොව අනිස් බැව් දැන දුක් කෙළවර කළහ.