2. 2. 9.
උත්තර සූත්රය
100. රජගහනුවර –
එකත්පසෙක සිටි උත්තර දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
ජීවිතය (මරණය කරා) පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්ෂාස්ථානයක් නැත. මේ (ත්රිවිධ) බිය මරණයෙහි ලා දක්නේ සුව එළවන්නා වූ පින් කරන්නේ ය.
[භගවත්හු:]
ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් (මරණය කරා) පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්ෂාස්ථානයක් නැත. මේ (ත්රිවිධ) බිය මරණයෙහි ලා දක්නා වූ නිවණ පතන පුද්ගල තෙමේ ලෝකාමිෂය දුරු කරන්නේ ය.
2. 2. 10.
අනාථපිණ්ඩික සූත්රය
101. සැවැත්නුවර–
එකත්පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:
භික්ෂුසමුහයා විසින් නිති සෙවුනාලද ධර්මරාජන්වූ බුදුරජාණන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද තෙල ප්රසිද්ධ ජේතවනය මට ප්රීති උපදවන්නේ ම ය.
කර්මය ද විද්යාව ද ධර්මය ද උතුම් සිල්වත් ජීවිතය ද (යන) මෙයින් සත්වයෝ පිරිසිදු වෙත්. ගෝත්රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් සමාධිපාක්ෂිකධර්ම වඩන්නේ ය. මෙසේ ඒ ආර්ය්යමාර්ගය හේතු කොට පිරිසිදු වෙයි.
ප්රඥායෙන් ද ශීලයෙන් ද ව්යුපශමයෙන් ද ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ). පරතෙරට (=නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම් එහි මේ ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ ම පරම වන්නාහ. (සැරියුත් තෙරණුවනට) වඩා උත්තරයෙක් නැත.)
අනේපිඬු දෙව්පුත් තෙමේ මෙය කී ය. මෙය කියා භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, මේ රාත්රියෙහි මනා ඡවිවර්ණ ඇති එක්තරා දේවපුත්රයෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මා වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි ඒ දෙව්පුත් තෙමේ මා සමීපයෙහි මේ ගාථා කී ය:
භික්ෂුසමුහයා විසින් නිති සෙව්නා ලද ධර්මරාජන් වූ බුදුරජානන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද තෙල ප්රසිද්ධ ජේතවනය මට ප්රීති උපදවන්නේ ම ය.
කර්මය ද විද්යාව ද ධර්මය ද උතුම් සිල්වත් ජීවිතය ද (යන) මෙයින් සත්ත්වයෝ පිරිසිදු වෙත්. ගෝත්රයෙන් හෝ ධනයෙන් පිරිසිදු නො වෙත්.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් සමාධිපාක්ෂිකධර්ම වඩන්නේ ය. මෙසේ ඒ ආර්ය්යමාර්ගය හේතු කොට පිරිසිදු වෙයි.
ප්රඥායෙන් ද ශීලයෙන් ද ව්යුපශමයෙන් ද ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ). පරතෙරට (=නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම් එහි මේ ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ ම පරම වන්නාහ: (සැරියුත් තෙරණුවනට වඩා විශිෂ්ටයෙක් නැත.)
මහණෙනි, ඒ දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කි යා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථිවිර තෙමේ භාග්යවතුන් වහන්සේට “වහන්ස, හෙ තෙමේ ඒකාන්තයෙන් අනාථපිණ්ඩික දෙව්පුත් වන්නේ ය. අනේපිඬු ගැහැවි තෙමේ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ කෙරෙහි බෙහෙවින් පැහැදුනේ වී ය යි මෙය සැළ කළේ ය.
ආනන්ද, මැනවි, මැනවි, ආනන්ද, යම්තාක් තර්කයෙන් දත යුතු නම් තොප විසින් (ඒතාක්) දන්නා ලදී. ආනන්ද, හෙ තෙමේ අනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ ම ය යි.
අනාථපිණ්ඩිකවර්ගය දෙවැනි යි.
එහි උද්දානය:
චන්දිමස, වෙණ්හු, දීඝලට්ඨි, නන්දන, චන්දන, වසුදත්ත, සුබ්රහ්ම, කකුධ සූත්රය, නවවන උත්තර සූත්රය, දසවන අනාථපිණ්ඩික සූත්රය යි කියන ලදී.