2. 2. 10.
අනාථපිණ්ඩික සූත්‍රය
101. සැවැත්නුවර–
එකත්පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:
භික්‍ෂුසමුහයා විසින් නිති සෙවුනාලද ධර්‍මරාජන්වූ බුදුරජාණන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද තෙල ප්‍රසිද්ධ ජේතවනය මට ප්‍රීති උපදවන්නේ ම ය.
කර්‍මය ද විද්‍යාව ද ධර්‍මය ද උතුම් සිල්වත් ජීවිතය ද (යන) මෙයින් සත්‍වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් සමාධිපාක්‍ෂිකධර්‍ම වඩන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගය හේතු කොට පිරිසිදු වෙයි.
ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ). පරතෙරට (=නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම් එහි මේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම පරම වන්නාහ. (සැරියුත් තෙරණුවනට) වඩා උත්තරයෙක් නැත.)
අනේපිඬු දෙව්පුත් තෙමේ මෙය කී ය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මේ රාත්‍රියෙහි මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දේවපුත්‍රයෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මා වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි ඒ දෙව්පුත් තෙමේ මා සමීපයෙහි මේ ගාථා කී ය:
භික්‍ෂුසමුහයා විසින් නිති සෙව්නා ලද ධර්‍මරාජන් වූ බුදුරජානන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද තෙල ප්‍රසිද්ධ ජේතවනය මට ප්‍රීති උපදවන්නේ ම ය.
කර්‍මය ද විද්‍යාව ද ධර්‍මය ද උතුම් සිල්වත් ජීවිතය ද (යන) මෙයින් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් පිරිසිදු නො වෙත්.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් සමාධිපාක්‍ෂිකධර්‍ම වඩන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගය හේතු කොට පිරිසිදු වෙයි.
ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ). පරතෙරට (=නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම් එහි මේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම පරම වන්නාහ: (සැරියුත් තෙරණුවනට වඩා විශිෂ්ටයෙක් නැත.)
මහණෙනි, ඒ දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කි යා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථිවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙ තෙමේ ඒකාන්තයෙන් අනාථපිණ්ඩික දෙව්පුත් වන්නේ ය. අනේපිඬු ගැහැවි තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කෙරෙහි බෙහෙවින් පැහැදුනේ වී ය යි මෙය සැළ කළේ ය.
ආනන්‍ද, මැනවි, මැනවි, ආනන්‍ද, යම්තාක් තර්‍කයෙන් දත යුතු නම් තොප විසින් (ඒතාක්) දන්නා ලදී. ආනන්‍ද, හෙ තෙමේ අනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ ම ය යි.
අනාථපිණ්ඩිකවර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
චන්‍දිමස, වෙණ්හු, දීඝලට්ඨි, නන්‍දන, චන්‍දන, වසුදත්ත, සුබ්‍රහ්ම, කකුධ සූත්‍රය, නවවන උත්තර සූත්‍රය, දසවන අනාථපිණ්ඩික සූත්‍රය යි කියන ලදී.