2. අනාථපිණ්ඩික වර්ගය
2. 2. 1.
චන්දිමස සූත්රය
92. සැවැත්නුවර–
එකල්හි චන්දිමස දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනා ඡවිවර්ණ ඇත්තේ, මුළු දෙව්රම බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි චන්දිමස දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
ධ්යානයන්ට පැමිණීමෙන් එකඟසිත් ඇති වූ තීරණප්රඥා ඇති සිහි ඇති ඔහු මදුරුවන් නැති කැසෙක මුවන් මෙන් සෙතට පැමිණෙන්නාහු ම ය.
[භගවත්හු:]
ධ්යානයන් ලැබ නො පමාවන කෙලෙස් දුරලන ඔහු දැල සිඳ යන මස්කැල මෙන් පරතෙරට (නිවණට) පැමිණෙන්නාහු ම ය.
2. 2. 2.
වෙණ්හු සූත්රය
93. සැවැත්නුවර:-
එකත්පසෙක සිටි වෙණ්හු දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:
(යම්) මිනිස් කෙනෙක් බුදුරජානන් වහන්සේ පර්ය්යුපාසාන කොට ගොයුම්සස්නෙහි යෙදෙන්නාහු නො පමාව හික්මෙත් ද, ඔහු ඒකාන්තයෙන් සුවපත් වූවෝ ය.
භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: එම්බා වෙණ්හු දේවපුත්රය, ධ්යාන කරණ යම් කෙනෙක් මා විසින් ප්රකාශ කරණ ලද අනුශාසනපදයෙහි සුදුසු කල්හි නොපමාවෙමින් හික්මෙද් ද, ඔහු මරුවසඟ වූවෝ නොවන්නාහ යි.
2. 2. 3.
දීඝලට්ඨි සූත්රය
94. සැවැත්නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක.
දීඝලට්ඨි දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනාඡවිවර්ණ ඇත්තේ, මුළු වේළුවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය:
මහණ තෙමේ ඉදින් හෘදයානුප්රාප්තිය (අභීත්ත්වය) කැමති වන්නේ නම් ලොව පිළිබඳ උදයව්යය දැන ධ්යාන වඩන්නෙක්, මිදුනු සිතැත්තෙක්, (එසෙයින් ම) මනාසිතැත්තෙක්, (තෘෂ්ණාදෘෂ්ටීන්) අනිඃශ්රිතයෙක්, ඒ අභීත්ත්වය අනුසස් කොට ඇත්තෙක් වන්නේ ය.
2. 2. 4.
නන්දන සූත්රය
95. සැවැත්නුවර–
එකත්පසෙක සිටි නන්දන දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
පතුළ නුවණැති ගෞතමයන් වහන්ස, මුබවහන්සේ විචාරමි. භාග්යවතුන් වහන්සේගේ ඥානදර්ශනය ආවරණරහිත ය. කෙබන්දහු ‘සිල්වතැ’ යි කියද්ද? කෙබන්දහු නුවණැති යැ යි කියද්ද? කෙබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණය කෙරේ ද? කෙබන්දහු දෙවියෝ පුදද්ද?
[භගවත්හු:]
යමෙක් සිල්වත් ද, නුවණැත්තේ ද, වඩන ලද සිත් ඇත්තේ ද, සමාහිත වේ ද, ධ්යානයෙහි ඇලුනේ ද, සිහි ඇත්තේ ද, ඔහුගේ සියලු ශෝකයෝ පහ වූවාහු ද, ප්රහීණ වූවාහු ද, ක්ෂීණ වූ කෙලෙස් ඇත්තේ ද, අන්තිම සිරුර දරණ සුලු වේ ද,
එබන්දහු සිල්වතැ යි කියත්. එබන්දහු නුවණැතියැ යි කියත්. එබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණ කෙරේ. එබන්දහු දෙවියෝ පුදති.
2. 2. 5.
චන්දන සූත්රය
96. සැවැත්නුවර–
එකත්පසෙක සිටි චන්දන දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මෙහි කවරෙක් රෑදෙවෙහි අනලස් ව චතුරෝඝය තරණය කෙරේ ද? කවරෙක් (යට) පිහිටක් නැති (මතුයෙහි) එල්බීමක් නැති ගැඹුරෙහි නො ගිලේ ද?
[භගවත්හු:]
හැම කල්හි සිල්වත් වූ, නුවණැති, එකඟසිත් ඇති, ඇරඹු වෙර ඇති, නිවන පිණිස මෙහෙයූ සිත් ඇති පුඟුල් තෙමේ තරණය කිරීමට දුෂ්කර වූ චතුරෝඝය තරණය කෙරෙයි.
කාමසංඥායෙන් වැළකුණු රූපසංයෝජන ඉක්ම ගිය ක්ෂීණ වූ නන්දිරාගය ඇති හෙ තෙම් ගැඹුරෙහි නො ගිලේ.
2. 2. 6.
වසුදත්ත සූත්රය
97. සැවැත්නුවර–
එකත්පසෙක සිටි වසුදත්ත දෙව්පුත් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය: