11. 1. 9.
අරඤ්ඤායතනඉසී සූත්‍රය
255. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. සිල්වත් කලණදහම් ඇති බොහෝ රුසිහු වනසෙනසුනෙක පන්සල්හි වෙසෙත්. මහණෙනි, එකල්හි සක්දෙවිඳු ද වේපචිත්ති අසුරිඳු ද සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් වෙත එළඹිය හ.
මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු කීප පටක් ඇති වහන් නැගී කඩුව එල්ලා ගෙණ දරණු ලබන ඡත්‍රයෙන් යුක්ත ව ප්‍රධාන දොරටුවෙන් අසපුවට පිවිස සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන්ට නිගරු කොට නික්ම ගියේ ය.
මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ කීප පටක් ඇති වහනින් බැස කඩුව අන් කෙනකුන්ට දී ඡත්‍රය බහා තබා දොරින් ම අසපුවට පිවිස සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් නමදිමින් යටිසුළඟෙහි බැඳැදිලි ව සිටියේ ය. මහණෙනි, එකල්හි සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සක්දෙවිඳුහට ගාථායෙන් කීහ.
බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන් වූ ව්‍රත ඇති ඍෂීන්ගේ කයින් ච්‍යුත වූ (සිරුරු) ගඳ සුළගින් හමයි. ශක්‍රය, මෙයින් ඉවත් වව. දෙව්රජ, ඍෂීන්ගේ (සිරුරු) ගඳ අපවිත්‍ර ය.
බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන් වූ ව්‍රත ඇති ඍෂීන්ගේ කයින් ච්‍යුත වූ (සිරුරු) ගඳ සුළගින් හමාවා. වහන්ස, මේ ගඳ හිසෙහි (පළඳනා ලද) විසිතුරු කුසුම් ඇති මල්දමක් මෙන් කැමැත්තමු. දෙවියෝ මෙහි පිළිකුල් ය යන හැඟීම් ඇත්තෝ නො ම වෙත්.
11. 1. 10.
ඉසයොසමුද්දක සූත්‍රය
256. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. සිල්වත් කලණදහම් ඇති බොහෝ ඍෂීහු මුහුදුතෙර පන්සල්හි වෙසෙත්.
මහණෙනි, එකල්හි දේවසුරසංග්‍රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන්ට “දෙවියෝ දැහැමිය හ. අසුරයෝ නො දැහැමිය හ. අපට අසුරයන්ගෙන් බියෙක් විය හෙයි. අපි සම්බර අසුරිඳු වෙත එළඹ අභයදානය යදින්නමෝ නම් මැනවැ”යි මේ සිත විය.
මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම මුහුදුතෙර පන්සල්හි අතුරුදන් වූවාහු සම්බර අසුරිඳු ඉදිරියෙහි පහළ වූහ. මහණෙනි, එකල්හි සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සම්බර අසුරිඳුහට ගාථායෙන් කීහ.
ඍෂීහු සම්බර වෙත පැමිණියාහු අභයදානය යදිත්. භය දෙන්නට හෝ අභය දෙන්නට හෝ (සමත් වූ) මුබට කැමැත්තක් කළ මැනව.
(අපට) විරුද්ධ වූ ශක්‍රයා සෙවුනා වූ ඍෂින්ට අභයෙක් නැත. අභය ඉල්ලන්නාවූ තොපට බිය ම දෙමි.
අභය ඉල්ලන්නා වූ අපට බිය ම දෙන්නෙහි ය. තොපගේ මේ කීම පිළිගණිමු. තොපට බිය ක්‍ෂය නො වේවා.
යම් බඳු බිජුවටක් වපුරා ද, එබඳු පල හැර ගණි. යහපත් ක්‍රියා කරණ තැනැත්තේ යහපත් විපාක ලබයි. පාපක්‍රියා කරණ තැනැත්තේ ලාමකවිපාක ලබයි. දරුවා, තා විසින් බිජුවටක් වපුරණ ලදී. එහි ඵලය විඳුනෙහි ය.