11. 1. 10.
ඉසයොසමුද්දක සූත්රය
256. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි. සිල්වත් කලණදහම් ඇති බොහෝ ඍෂීහු මුහුදුතෙර පන්සල්හි වෙසෙත්.
මහණෙනි, එකල්හි දේවසුරසංග්රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන්ට “දෙවියෝ දැහැමිය හ. අසුරයෝ නො දැහැමිය හ. අපට අසුරයන්ගෙන් බියෙක් විය හෙයි. අපි සම්බර අසුරිඳු වෙත එළඹ අභයදානය යදින්නමෝ නම් මැනවැ”යි මේ සිත විය.
මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම මුහුදුතෙර පන්සල්හි අතුරුදන් වූවාහු සම්බර අසුරිඳු ඉදිරියෙහි පහළ වූහ. මහණෙනි, එකල්හි සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සම්බර අසුරිඳුහට ගාථායෙන් කීහ.
ඍෂීහු සම්බර වෙත පැමිණියාහු අභයදානය යදිත්. භය දෙන්නට හෝ අභය දෙන්නට හෝ (සමත් වූ) මුබට කැමැත්තක් කළ මැනව.
(අපට) විරුද්ධ වූ ශක්රයා සෙවුනා වූ ඍෂින්ට අභයෙක් නැත. අභය ඉල්ලන්නාවූ තොපට බිය ම දෙමි.
අභය ඉල්ලන්නා වූ අපට බිය ම දෙන්නෙහි ය. තොපගේ මේ කීම පිළිගණිමු. තොපට බිය ක්ෂය නො වේවා.
යම් බඳු බිජුවටක් වපුරා ද, එබඳු පල හැර ගණි. යහපත් ක්රියා කරණ තැනැත්තේ යහපත් විපාක ලබයි. පාපක්රියා කරණ තැනැත්තේ ලාමකවිපාක ලබයි. දරුවා, තා විසින් බිජුවටක් වපුරණ ලදී. එහි ඵලය විඳුනෙහි ය.
මහණෙනි, ඉක්බිති, සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සම්බර අසුරිඳුහට සාප කොට යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම සම්බර අසුරිඳුගේ හමුවෙහි අතුරුදන් වූවාහු මුහුදුතෙර පන්සල්හි පහළ වූහ.
මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් විසින් සාප කරණ ලද සම්බර අසුරිඳු තෙමේ රෑ තුන්යලක් තැති ගෙණ නැගී සිටී.
සුවීර වර්ගය පළමුවැනි යි.
එහි උද්දානය:
සුවීර, සුසීම, ධජග්ග, වේපචිත්ති, සුභාසිතජය, කුලාවක, නදුබ්භිය වේරෝචනඅසුරින්ද, ඉසයොආරඤ්ඤක, ඉසයොසමුද්දක ය යී සූත්ර දශයෙකි.
2. සත්තවත වර්ගය
11. 2. 1.
දේවා [සත්තවතපද] සූත්රය
257. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක:
එහිදී ... භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්වතපද කෙනෙක් සමාත්තයහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් වූ බැවින් ශක්ර තෙමේ ශක්රබවට පැමියේ ය.
කවර සත්වත පද කෙනෙක් ද? යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මිහිරිවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුවදන් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්යාග ඇත්තෙම්, දන් දෙනු පිණිස දෙවූ අත් ඇත්තෙම්, දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහිත් සංවිභාගයෙහිත් ඇලුනෙම්, දිවිහිමියෙන් පහවූ මසුරු මලින් යුත් සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සැබෑ තෙපුල් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්රෝධ නොකරන්නෙම් වන්නෙමි. ඉදිනුදු මට ක්රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යි. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙව්රජ විසින් මේ සත් ව්රතපදයෝ මොනවට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්ර තෙමේ ශක්රබවට පැමිණියේ ය.
මවුපියන් පුස්නා කුලදෙටුවන් පුදන මෘදු ප්රිය තෙපුල් බණන කේලමින් වැළකුනු මසුරුමල දුරුකිරීමෙහි යෙදුනු සැබෑ තෙපුල් බණන ක්රෝධය මැඩලන සුලු ඒ මනුෂ්ය සත්ත්වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියත්.