1. සුවීර වර්ගය
11. 1. 1.
සුවීර සූත්රය
247. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, පෙර වූවක් කියමි. අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණියාහු ය. මහණෙනි, එකල්හි ශක්රදේවේන්ද්ර තෙමේ සුවීර දෙව්පුත් ඇමතී ය:- “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුහට පිළිවදන් දී (ගමන) පමා කළේ ය.
මහණෙනි, දෙවන වට දු සක්දෙවිඳු තෙමේ සුවීර දෙව්පුතු ඇමතී ය: “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා දෙවන වට දු (ගමන) පමා කළේ ය.
මහණෙනි, තෙවන වට දු ශක්රදේවේන්ද්ර තෙමේ සුවීර දෙව්පුතු ඇමතී ය: “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුට පිළිවදන් අස්වා තෙවන වට දු (ගමන) පමා කළේ ය.
මහණෙනි, ඉක්බිති ශක්රදේවේන්ද්ර තෙමේ සුවීර දෙව්පුත්හට ගාථායෙන් කී ය:
(කායිකවීර්ය්ය වශයෙන්) නො නැගී සිටුනේ (චෛතසික වීර්ය්ය වශයෙන්) වෑයම් නො කරණුයේ යම් තැනෙක්හි සුඛයට පැමිණේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
[සුවීරදෙව්පුත්:]
උත්ථානවීර්ය්ය නැත්තේ අලස වන්නේ ය. කිසි කිසක් නො ද කරන්නේ ය. (එබන්දෙක්) සියලු කාමයෙන් සමෘද්ධයෙක් වන්නේ නම් සක්දෙවිඳුනි, ඒ උත්තමස්ථානය මට කියනු මැනවි යි.
[සක්දෙවිඳු:]
උත්ථානවීර්ය්ය නැත්තා වූ අලසපුද්ගලයෙක් යම් තැනෙක අත්යන්තයෙන් සුඛයට පැමිණේ ද, නොහොත් අතිශයින් සැපසේ වැඩේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
[සුවීර:]
ශක්රදේවේන්ද්රය, කර්ම නො කිරීමෙන් යම් සැපතක් ලබමෝ ද, ශක්රදේවේන්ද්රය, ශෝක නැති දැඩි ආයාස නැති ඒ උතුම් මග කියනු මැනවි.
[සක්දෙවිඳු:]
කිසි පුද්ගලයෙක් කිසි තැනෙක්හි ජීවත් නොවේ ද, (කෘෂි වණික් ආදි) කර්ම නො කිරීමෙන් පැමිණිය යුතු එබඳු තැනෙක් ඉදින් ඇත් ද, ඒ මග නිර්වාණයාගේ (මග) ම ය. සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
මහණෙනි, ඒ සක්දෙව්රජ තෙමේ නම් සිය පින්පල නිසා ජීවත්වන්නේ තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරන්නේ උත්ථානවීර්ය්ය පිළිබඳ ගුණ කියන්නෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාක්ඛාත ශාසනයෙහි පැවිදි වූවාහු ම මේ සස්නෙහි නො පැමිණි ගුණයකට පැමිණීම පිණිස ද, අවබෝධ නොකළ දහමක් අවබෝධ කිරීම පිණිස ද, පසක් නො කළ දහමක් පසක් කිරීම පිණිස ද යම් වීර්ය්යයෙකින් උත්සහා කරන්නහු ද, ඝටනය කරන්නහු ද, වෑයම් කරන්නහු ද, මේ සස්නෙහි ලා ඒ වීර්ය්යය හොබනේ ය.
11. 1. 2.
සුසීම සූත්රය
248. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දි භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, පෙර වූවක් කියමි: අසුරයෝ දෙවියන් අභිමුඛවැ ගියහ. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය: “පුත, සුසීම, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුසීම යා. අසුරයන් බලා නැඟ යා”යි. මහණෙනි, සුසීම දෙව්පුත් තෙමේ ‘එසේ ය. මුඹට මැනැවෙක් වේවා’යි සක්දෙව්රජුහට පිළිවදන් දී (ගමන) පමා කළේ ය.