1. 5. 6.
අච්ඡරා සූත්රය.
[දෙවි:]
46. අප්සරස් සමූහයා විසින් සුඝෝෂිත වූ පිශාචයන් වැනි ඒ අප්සරස් සමූහයා විසින් සෙවුනාලද මේ වනය මෝහන නමි. (එයින්) නික්ම යෑම කෙසේ වන්නේ ද?
[භගවත්හු:]
ඒ මාර්ගය උජුක නම් වේ. දිශාව අභයා නම් වේ. ධර්මචක්රයන් ගෙන් යුක්ත වූ ඒ රථය අකූජන නම් වේ.
හිරිඔතප් දෙක ඒ රථයේ වැතිර ගන්නා පුවරු (ඇඳි) යි. සිහිය ඒ රථයේ පිරිකරයි (සැරැසිල්ලයි.) විදර්ශනා සම්යග්දෘෂ්ටිය පෙරටු කොට යන ලෝකෝත්තර මාර්ග ධර්මය (එහි) රියැදුරා ය යි මම කියමි.
යම් ස්ත්රියකට හෝ පුරුෂයකුට හෝ මෙබඳු යානයෙක් වේ නම් හෙතෙමේ ඒකාන්තයෙන් මේ යානයෙන් නිවණ සමීපයෙහි ම වේ.
1. 5. 7.
වනරෝප සූත්රය
[දෙවි:]
47. කිනම් කෙනකුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ ද? දහම්හි පිහිටි ශීලසම්පන්න වූ කිනම් ජනයෝ ස්වර්ගයට යෙත් ද?
[භගවත්හු:]
යම් ජන කෙනෙක් මල්පල උයන් වවන්නෝ වෙත් ද, පියවි වන වගා කොට දෙන්නෝ වෙත් ද, ඒ දඬු පාලම් කරවන්නෝ වෙත් ද, යම් කෙනෙක් පැන්හලුත් පැන් පොකුණුත් ආවාසත් දෙ ද් ද,
ඔවුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ. දහම්හි පිහිටි ශීල සම්පන්න වූ ඒ ජනයෝ ස්වර්ගයට යෙත්.
1. 5. 8.
ජේතවන සූත්රය
[අනාථපිණ්ඩික දෙවි:]
48. භික්ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද ධර්මරාජ වූ බුදුරජානන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද මේ ඒ ජේතවනය මට ප්රීති උපදවන්නේ ය.
[භගවත්හු:]
කර්මය ද, විද්යාව ද, සමාධි ධර්මය ද, උතුම් ජීවිතය වූ ශීලය ද යන මෙයින් සත්ත්වයෝ පිරිසිදු වෙත්. ගෝත්රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් දහම් රැස් කරන්නේ ය. මෙසේ ඒ ආර්ය්යමාර්ගයෙහි පිරිසිදු වෙයි.
ප්රඥාවෙන් ද, ශීලයෙන් ද, ව්යුපශමයෙන් ද, ශාරීපුත්රස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ) පරතෙරට (නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම්, මේ ශාරීපුත්රස්ථවිරයන් වහන්සේ ම උතුම් කොට ඇත්තේ වන්නේ ය යි.
1. 5. 9.
මච්ඡරි සූත්රය.
[දෙවි:]
49. දැඩි මසුරුකම් ඇති, පරිභව කරණ, දන් දෙන අනුන්ට අන්තරාය කරණ, යම් මසුරු මිනිස් කෙනෙක් මෙලොව වෙද්ද,
ඔවුන්ගේ විපාකය කෙබඳු ද? පරලොව ගතියත් කෙබඳු ද? භාග්යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවත්හු:]
දැඩි මසුරුකම් ඇති, පරිභව කරණ, දන් දෙන අනුන්ට අන්තරාය කරණ, යම් මසුරු මිනිස් කෙනෙක් මෙලොව වෙද් ද,