1. 5. 7.
වනරෝප සූත්‍රය
[දෙවි:]
47. කිනම් කෙනකුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ ද? දහම්හි පිහිටි ශීලසම්පන්න වූ කිනම් ජනයෝ ස්වර්‍ගයට යෙත් ද?
[භගවත්හු:]
යම් ජන කෙනෙක් මල්පල උයන් වවන්නෝ වෙත් ද, පියවි වන වගා කොට දෙන්නෝ වෙත් ද, ඒ දඬු පාලම් කරවන්නෝ වෙත් ද, යම් කෙනෙක් පැන්හලුත් පැන් පොකුණුත් ආවාසත් දෙ ද් ද,
ඔවුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ. දහම්හි පිහිටි ශීල සම්පන්න වූ ඒ ජනයෝ ස්වර්‍ගයට යෙත්.
1. 5. 8.
ජේතවන සූත්‍රය
[අනාථපිණ්ඩික දෙවි:]
48. භික්‍ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද ධර්‍මරාජ වූ බුදුරජානන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද මේ ඒ ජේතවනය මට ප්‍රීති උපදවන්නේ ය.
[භගවත්හු:]
කර්‍මය ද, විද්‍යාව ද, සමාධි ධර්‍මය ද, උතුම් ජීවිතය වූ ශීලය ද යන මෙයින් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් දහම් රැස් කරන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙහි පිරිසිදු වෙයි.
ප්‍රඥාවෙන් ද, ශීලයෙන් ද, ව්‍යුපශමයෙන් ද, ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ) පරතෙරට (නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම්, මේ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ම උතුම් කොට ඇත්තේ වන්නේ ය යි.
1. 5. 9.
මච්ඡරි සූත්‍රය.
[දෙවි:]
49. දැඩි මසුරුකම් ඇති, පරිභව කරණ, දන් දෙන අනුන්ට අන්තරාය කරණ, යම් මසුරු මිනිස් කෙනෙක් මෙලොව වෙද්ද,
ඔවුන්ගේ විපාකය කෙබඳු ද? පරලොව ගතියත් කෙබඳු ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවත්හු:]
දැඩි මසුරුකම් ඇති, පරිභව කරණ, දන් දෙන අනුන්ට අන්තරාය කරණ, යම් මසුරු මිනිස් කෙනෙක් මෙලොව වෙද් ද,
(ඔහු) නරකයට ද, තිරිසන් යෝනියට ද, යමලෝකයට ද පැමිණෙත්. ඉදින් මිනිසත්බවට එත් නම්, යම් කුලයෙක වස්ත්‍ර ආහාර කාම සම්පත් හා ක්‍රීඩා දුක සේ ලැබෙද් ද, (එබඳු) දිළිඳු කුලයෙක උපදී.
ඒ අඥානයෝ මෙරමාගෙන් (යමක්) බලාපොරොත්තු වෙත් නම්, එය ද ඔවුන්ට නො ලැබේ. මෙලොව ඒ විපාක යි. පරලොව ද දුගතිය වේ.
[දෙවි:]
ගෞතමය වහන්ස, මෙසේ මෙය දැනුම්හ. අනෙකක් විචාරමු. යම් කෙනෙක් මේ ලෝකයෙහි මිනිසත්බව ලැබ පහ වූ මසුරුමල ඇත්තාහු බුදුන් දහම් සඟුන් කෙරෙහිත් පැහැදුනාහු අතිශය ගෞරව ඇත්තාහු (වදාන්‍ය) දන්කලු වූහු ද,
ඔවුන්ගේ විපාකය කෙබඳු ද? පරලොව ගතියත් කෙබඳු ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවත්හු:]
යම් කෙනෙක් මේ ලෝකයෙහි මිනිසත්බව ලැබ පහ වූ මසුරුමල ඇත්තාහු බුදුන් දහම් සඟුන් කෙරෙහිත් පැහැදුනාහු අත්‍යන්ත ගෞරව ඇත්තාහු (වදාන්‍ය) දන්සොඬ වෙද්ද, ඔහු යම් තැනක උපදිද් ද, ඒ ස්වර්‍ගයෙහි මොහු බබලත්.
ඉදින් මිනිසත්බවට එත් නම්, යම් කුලයෙක වස්ත්‍ර ආහාර කාමවස්තු හා ක්‍රීඩා නිදුකින් ලැබෙද් ද (එබඳු) ආඪ්‍ය කුලයෙක උපදිත්.
අනුන් විසින් රැස් කරණ ලද භෝගයන්හි එහි හිමියන් මෙන් සතුටු වෙත්. මෙලොව ඒ විපාක යි. පරලොවත් සුගතිය වේ.
1. 5. 10.
ඝටීකාර සූත්‍රය
[ඝටීකාර දෙවි:]
50. භික්‍ෂූහු සත්නමක් සත්නමක් අවිහබඹලොවට පැමිණියාහු මිදුනාහු රාගද්වේෂයන් ක්‍ෂය කළාහු (පඤ්චස්කන්‍ධ) ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළාහු ය.
තරණය කිරීමට ඉතා දුෂ්කර වූ මච්චුධෙය්‍ය නම් සංසාරයත් (චතුර්විධ) සඞ්ගයනුත් තරණය කළාහු කවුරු ද? කිනම් කෙනෙක් මනුෂ්‍යදේහ (සංඛ්‍යාත ඕරම්භාගිය සංයෝජන පස) දුරු කොට දිව්‍යයෝග (සඞ්ඛ්‍යාත උද්ධම්භාගිය සංයෝජන) පසත් ඉක්ම ගියාහු ද?
උපක පලගණ්ඬ පුක්කුසාති යන තිදෙන ද, භද්දිය භද්‍දදේව බාහුදන්ති පිඞ්ගිය යන (සිවුදෙන ද) යන ඔහු මනුෂ්‍යදේහය හැර දිව්‍යයොගය ඉක්ම ගියාහු ය.
[භගවත්හු:]
මාරපාසයන් හැර සිටිය වූ ඔවුන්ට ‘අනවද්‍යයහ’යි බෙණෙහි (පසස්නෙහි). ඔහු කවරෙකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද?