1. 4. 9.
පජඡුන්නධීතු සූත්‍රය.
39. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි පර්ජන්‍ය (=වස්සවලාහක) දෙවිහුගේ දුව වූ මනා ඡවිවර්‍ණ ඇති කොකනදා තොමෝ මුළු මහවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දුව වූ කොකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කිවු ය:
මම කොකනදා වෙමි. පර්ජන්‍යයාගේ දුව වූ කොකනදා (නම් වූ මම) විසල්පුර මහවනෙහි වැඩ වසන සත්ත්‍වයාට අග්‍ර වූ සර්‍වඥයන් වහන්සේ සකසා වඳිමි.
පසැස් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරණ ලද්දේ ය යි මාවිසින් පෙර අසන ලද පමණෙක් ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ ලෙස දනිමි.
නුවණ නැත්තා වූ යම් කිසි කෙනෙක් ආර්‍ය්‍යධර්‍මය ගරහමින් හැසිරෙද්ද, ඔහු දරුණු වූ රෞරව නිරයට පැමිණෙත්. බොහෝ කලක් දුක් අනුභව කෙරෙත්.
යම් කෙනෙක් ආර්‍ය්‍යධර්‍මයෙහි ක්‍ෂාන්තියෙන් හා ව්‍යුපශමයෙන් යුක්ත වූවාහු ද, (ඔහු) මිනිස්සිරුර හැර පියා දෙව්පිරිස පුරා ලන්නාහ.
1. 4. 10.
චුල්ලපජජුන්තධිතු සූත්‍රය.
40. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල පර්ජන්‍යයාගේ දුව වූ මනා ඡවිවර්‍ණ ඇති චුල්ලකොකනදා තොමෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු මහවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දුව වූ චුල්ලකොකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කිවු ය:
පර්ජන්‍ය ගේ දුව වූ විදුලිය එළිය වැනි පැහැ ඇති කොකනදා තොමෝ මෙහි අවු ය. බුදුන් ද දහම් ද වඳිමින් අර්‍ත්‍ථවත් වූ මේ ගාථා ද කිවු ය.
ඒ (ස්වල්පවූ ද) ධර්‍මය බොහෝ ක්‍රමයෙනුදු බෙදන්නෙමි. ඒ ධර්‍මය එබඳු ය. මවිසින් සිතින් යම් තාක් පුහුණු කරණ ලද්ද්දේ ද, (ඒ හැම නො කියා) සංක්‍ෂේපමාත්‍රයක් කියන්නෙමි.
වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුළුලොව කිසි පවක් නො කරන්නේ ය. සිහි ඇත්තේ මනානුවණින් දන්නේ කාමයන් හැරපියා අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ දුක නො සෙවුනේ යි.
සතුල්ලපකායිකවර්‍ගය සිවුවැනි යි.
එහි උදානය මෙසේ යි:
සබ්හි, මච්ඡරී, සාධු, නසන්ති, උජ්ඣානසඤ්ඤී, සද්ධා, සමය, සකලික, පජ්ජන්නධීතු සූත්‍ර දෙක යයි සූත්‍ර දශයෙකි.