1. 4. 10.
චුල්ලපජජුන්තධිතු සූත්‍රය.
40. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල පර්ජන්‍යයාගේ දුව වූ මනා ඡවිවර්‍ණ ඇති චුල්ලකොකනදා තොමෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු මහවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දුව වූ චුල්ලකොකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කිවු ය:
පර්ජන්‍ය ගේ දුව වූ විදුලිය එළිය වැනි පැහැ ඇති කොකනදා තොමෝ මෙහි අවු ය. බුදුන් ද දහම් ද වඳිමින් අර්‍ත්‍ථවත් වූ මේ ගාථා ද කිවු ය.
ඒ (ස්වල්පවූ ද) ධර්‍මය බොහෝ ක්‍රමයෙනුදු බෙදන්නෙමි. ඒ ධර්‍මය එබඳු ය. මවිසින් සිතින් යම් තාක් පුහුණු කරණ ලද්ද්දේ ද, (ඒ හැම නො කියා) සංක්‍ෂේපමාත්‍රයක් කියන්නෙමි.
වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුළුලොව කිසි පවක් නො කරන්නේ ය. සිහි ඇත්තේ මනානුවණින් දන්නේ කාමයන් හැරපියා අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ දුක නො සෙවුනේ යි.
සතුල්ලපකායිකවර්‍ගය සිවුවැනි යි.
එහි උදානය මෙසේ යි:
සබ්හි, මච්ඡරී, සාධු, නසන්ති, උජ්ඣානසඤ්ඤී, සද්ධා, සමය, සකලික, පජ්ජන්නධීතු සූත්‍ර දෙක යයි සූත්‍ර දශයෙකි.
5. ආදිත්ත වර්‍ගය
1. 5. 1.
ආදිත්ත සූත්‍රය
41. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
ගෙය ගිනිගත් කල (ගෙහිමියා) යම් භාජනයක් බැහැර කෙරේ ද, එය ඔහුට ප්‍රයෝජනය පිණිස වෙයි. යමක් එහි දැවේ ද, එය (ප්‍රයෝජනය පිණිස) නො වේ.
මෙසේ ලෝවැසි තෙමේ ජරායෙන් හා මරණයෙන් ද ඇවිළ ගන්නා ලද්දේ ය. (එහෙයින්) දානයෙන් ම බැහැර කරන්නේ ය. දෙන ලද්ද මැනවින් බැහැර කරණ ලද්දේ වෙයි.
දෙනලද්ද සුවපල ඇත්තේ වේ. නො දෙන ලද්ද එසේ නො වේ. ඒ (නුදුන්) දෙය සොරු හැර ගණිත්. රජහු හෝ හැර ගණිත්. ගින්න හෝ දවයි. (තුබූ තැන ම හෝ) නැසෙයි. යලි නො නැසුනු භෝග සහිත ශරීරය මරණයෙන් හැර පියයි.
නුවණැත්තේ මේ කරුණ දැන අනුභව ද කරන්නේ ය. දීම ද කරන්නේ ය. ශක්තිපරිද්දෙන් දී අනුභව ද කොට අනින්‍දිත වූයේ ස්වර්‍ගස්ථාන යට පැමිණේ.
1. 5. 2.
කිංදද සූත්‍රය
[දෙවි:]
42. කුමක් දෙන්නේ බලය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ වර්‍ණය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ සැපය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ ඇස් දෙන්නේ වේ ද? යමෙක් සියල්ල දෙන්නෙත් වේ ද, මා විසින් විචාරණ ලද්දෙහි එය වදාළ මැනවි.
[භගවත්හු:]
ආහාර දෙන්නේ බලය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නේ වර්‍ණය දෙන්නේ වේ. යාන දෙන්නේ සැප දෙන්නේ වේ. පහන් දෙන්නේ ඇස් දෙන්නේ වේ. යමෙක් අවාස දේ ද, හෙතෙමේ සියල්ල දෙන්නේත් වේ. යමෙක් ධර්‍මානුශාසන කෙරේ ද, හෙතෙමේ අමෘතය දෙන්නේත් වෙයි.