4. සතුල්ලපකායික වර්ගය
1. 4. 1.
සබ්භි සූත්රය
31. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි මනා ඡවිවර්ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ.
එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන (සිටියහුට) අභිවෘද්ධිය වෙයි. පිරිහීමෙක් නො වෙයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් ප්රඥාව ලැබේ. අනෙකකින් නො ලැබේ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් ශෝකකාරණයන් මැද ශෝක නො කෙරේ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් නෑයන් මැද වෙසෙසින් බබලයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් සත්ත්වයෝ සුගතියට යෙත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් සත්ත්වයෝ බොහෝකල් සුව සේ සිටිත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේට මෙය කී ය: භාග්යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද්දේ ද?
[භගවත්හු:]
තොප සියල්ලන් විසින් කරුණු වශයෙන් මැනවින් කියන ලදී. වැලි දු මගේ (වචනය) ද අසවු:
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් සියලු දුකින් මිදෙයි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ දේවතාවෝ භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වූහ යි.