1. 4. 7.
සමය සූත්රය.
37. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය දනව්වෙහි කිඹුල්වත්පුර සමීපයෙහි වූ මහාවනයෙහි හැමම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ මහාබික්සඟන සමග වැඩ වසන සේක. දසදහසක් සක්වළින් දේවතාවෝ භාග්යවතුන් වහන්සේත් භික්ෂු සඞ්ඝයාත් දකිනු පිණිස බෙහෙවින් රැස් වූවාහු ද වෙත්.
එකල්හි සුදවස්වැසි සිවුදෙවිකෙනෙකුන්ට මේ අදහස පහළ විය: “මේ භාග්යවතුන් වහන්සේ ශාක්ය දනව්වෙහි කිඹුල්වත්පුර සමීපයෙහි මහාවෙනෙහි හැම ම රහත් වූ භික්ෂූන් පන්සියයක් පමණ වූ මහාබික්සඟන සමග වැඩ වසන සේක. දසසහසක් සක්වළින් දේවතාවෝ භාග්යවතුන් වහන්සේත් භික්ෂුසඞ්ඝයාත් දකිනු පිණිස බෙහෙවින් රැස් වූවාහු ද වෙති. අපි දු භාග්යවතුන් වහන්සේ වෙත එළඹෙන්නමෝ නම්, එළඹ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි වෙන වෙන ම ගාථාවක් කියන්නමෝ නම්, ඉතා මැනවැ”යි.
ඉක්බිති ඒ දේවතාවෝ, බලවත් පුරුෂයෙක් හැකිළූ අතක් දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ යම් සේ ද, එසේ සුදවස් දෙවියන් කෙරෙහි අතුරුදහන් වූවාහු භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වූහ.
එකල්හි ඒ දේවතාවෝ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියහ. එකත් පසෙක සිටි එක් දෙවියෙක් භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය:
මහවන ලැහැබෙහි මහාසමූහයෙකි. දේවසමූහයෝ රැස් වුහ. අපරාජිත සඞ්ඝයා දකිනු පිණිස මේ ධර්මසභාවට පැමිණියම්හ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
එහි භික්ෂූහු තමන්ගේ සිත සමාධිගත කළහ. ඍජු කළහ. පණ්ඩිතයෝ රැහැන් ගෙණ (අසුන් හික්මවන) රියැදුරන් මෙන් ඉඳුරන් රකිත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
පසැස් ඇති බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් හික්මවන ලද පවිත්ර නිර්මල තරුණ නාගයන් වූ උන්වහන්සේ (රාගද්වේෂමෝහ නැමැති) කණුව සිඳ (අවිද්යා) කනයම සිඳ (කෙලෙස් නැමැති) ඉන්ද්රකීලය උදුරා පියා තෘෂ්ණාකම්පනරහිත වූවාහු හැසිරෙත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියාහු ද, ඔහු අපායට නොයන්නාහු මිනිස්සිරුර හැර පියා දෙව්පිරිස පුරා ලන්නාහ.
1. 4. 8.
සකලික සූත්රය.
38. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුවවෙනෙහි වැඩවසන සේක.
එකල්හි භාග්යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරෙකින් පහළේ වේ. භාග්යවතුන් වහන්සේට දුක් වූ දැඩි වූ රළු වූ තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරික වේදනාවෝ පවතිත්. භාග්යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක.
එකල්හි භාග්යවතුන් වහන්සේ සඟල සිවුර සිවුගුණු කොට පණවා දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා දකුණුපසින් සිංහශය්යාව කරණ සේක.