1. 4. 4.
නසාන්ති සූත්‍රය
34. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක.
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ පෙරයම ඉක්ම ගිය කල මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාකී ය:
මිනිසුන් කෙරෙහි නිත්‍ය වූ කාමයෝ නැත. යම් කාම වස්තූන් කෙරෙහි බැඳුනු යම් කාමවස්තුන්හි ප්‍රමත්ත වූ පුරුෂ තෙමේ මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සසරින් අපුනරාගමන සඞ්ඛ්‍යාත නිවණට නොපැමිණෙන්නේ වේ ද, (එබඳු වූ) ඉෂ්ටාලම්බනයෝ මේ ලෝකයෙහි ඇත. (පඤ්චස්කන්‍ධ) දුඃඛය තෘෂ්ණාච්ඡන්‍දයෙන් හටගත්තේ ය. (පඤ්චෝපාදානස්කන්‍ධ) දුඃඛය තෘෂ්ණාච්ඡන්‍දයෙන් හටගත්තේ ය. තෘෂ්ණාව දුරු කිරීමෙන් (පඤ්චස්කන්‍ධ) දුඃඛය දුරු කිරීම වේ. (පඤ්චස්කන්‍ධ) දුඃඛය දුරු කිරීමෙන් සියලු සංසාරදුඃඛය දුරු කිරීම වේ.
ලෝකයේ විචිත්‍ර වූ යම් (රූපාදි) අරමුණු ඇත් ද, ඔහු කාමයෝ නො වෙත්. පුරුෂයාගේ (ශුභාදිවශයෙන්) සංකල්පිත රාගය තෙමේ කාමය යි. ලෝකයෙහි විසිතුරු වූ (රූපාදි) අරමුණු එසේ ම සිටී. වැලිත් පණ්ඩිතයෝ මේ ආරම්මණයන්හි ඡන්‍දරාගය දුරු කෙරෙත්.
ක්‍රෝධය දුරු කරන්නේ ය. මානය වෙසෙසින් බැහැර කරන්නේ ය. සියලු සංයෝජන ඉක්මවන්නේ ය. නාමරූප දෙකෙහි නොඇලෙන රූපාදි පළිබෝධ රහිත වූ ඒ ක්‍ෂීණාස්‍රවයා මතුයෙහි (සංසාර) දුඃඛයෝ නො වැටෙත්.
(යමෙක්) සත්ත්‍වප්‍රඥප්තිය දුරු කෙළේ ද, මානයට නො පැමිණියේ ද, මේ නාමරූප දෙක්හි තෘෂ්ණාව සිඳ ලූයේ ද, සුන් කළ තෘෂ්ණාග්‍රන්‍ථි ඇති නිදුක් වූ ආශාරහිත වූ ඒ ක්‍ෂීණාස්‍රවයන් වහන්සේ දෙවියෝත් මනුෂ්‍යයෝත් මෙලොව ද පරලොව ද ස්වර්‍ගයන්හි ද සියලු සත්ත්‍වනිවේසනයන්හි ද සොයන්නාහු නමුත් නො ලබත්.
(මෝඝරාජ ස්ථවිර තෙමේ මෙසේ කී ය:) ඉදින් දෙවියෝත් මනුෂ්‍යයෝත් එසේ මිදුනු ඒ සර්‍වඥයන් වහන්සේ මෙලොවත් පරලොවත් නො දක්නාහු ද, මිනිසුනට හිතවැඩ සලසන නරශ්‍රේෂ්ඨ වූ ඒ සර්‍වඥයන් වහන්සේට යම් කෙනෙක් නමස්කාර කෙරෙත් නම්, ඔහු පැසසිය යුත්තෝ ද?
(භාග්‍යවතුන් වහන්සේ: මෝඝරාජය.) යම් කෙනෙක් එසේ මිදුනු ඒ සර්‍වඥයන් වහන්සේට නමස්කාර කෙරෙද්ද, ඒ භික්‍ෂූහු පැසසිය යුත්තෝත් වෙති. ඒ භික්‍ෂූහු ධර්‍මය දැන විචිකිච්ඡාව දුරු කොට (රාගාදි) සඞ්ගයන් ඉක්ම ගියාහු ද වෙති.
1. 4. 5.
උජ්ඣානසඤඤී සූත්‍රය.
35. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ උජ්ඣානසඤඤික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ අහසෙහි සිටියහ. අහසෙහි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය: