1. 4. 5.
උජ්ඣානසඤඤී සූත්‍රය.
35. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ උජ්ඣානසඤඤික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ අහසෙහි සිටියහ. අහසෙහි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යම් මහණෙක් අන් අයුරෙකින් පවත්නා තමා අන් අයුරෙකින් (ඇතිසැටි වළහා) ප්‍රකාශ කරන්නේ ද, ලිහිණි වැද්දාගේ (ලිහිණිමස් කෑම) මෙන් ඔහු විසින් ඒ සිවුපසය වඤ්චායෙන් රවටා හොරකමින් අනුභව කරණ ලද්දේ ය.
[භගවත්හු:]
යමක් කරන්නේ නම්, එය ම කියන්නේ ය. යමක් නොකරන්නේ නම්, එය නොකියන්නේ ය. කියන්නවුන් අතුරෙන් නොකරන්නහු පණ්ඩිතයෝ දැන ගණිත්.
යම් මේ ප්‍රතිපදායෙක් දැඩි ද, ධ්‍යාන කරණසුලු පණ්ඩිතයෝ යම් ප්‍රතිපදායෙකින් මාරබන්‍ධනයෙන් මිදෙද් ද, මේ ප්‍රතිපත්තිය කථිතමාත්‍රයෙකින් හෝ ශ්‍රවණමාත්‍රයෙකින් හෝ පිළිපදින්නට නො හැකි ය.
සංස්කාර ලෝකයාගේ උදයව්‍යයස්වාභාවය දැන (චතුස්සත්‍යය) අවබෝධ කොට ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කළා වූ (ක්ලේශ පරිනිර්‍වාණයෙන්) පිරිනිවියා වූ පණ්ඩිතයෝ ඒකාන්තයෙන් (මෙසේ) නො කෙරෙත්.
ඉක්බිති ඒ දේවතාවෝ පොළොවෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, යම්බඳු අපි බාල බවට අනුරූප සේ මූඪබවට අනුරූපසේ අදක්‍ෂබවට අනුරූප සේ භාග්‍යවතුන් වහන්සේ වචනයෙන් ගැටිය යුත්තකු කොට සිතුමු ද, ඒ වරද අප ඉක්ම ගියේ ය. වහන්ස, ඒ අපගේ වරද ආයතිසංවරය පිණිස වරද වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වා” යි මෙය සැළ කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කළ සේක.
එකල්හි ඒ දේවතාවෝ බොහෝ සෙයින් දොස් පහළ කෙරෙමින් අහසට නැංගහ.
එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
යමෙක් දෙසන්නවුන්ගේ වරද නො පිළිගණීද, ඇතුළත කෝප ඇති ද්වේෂය ගුරු කොට ගෙණ වසන හෙතෙමේ ඒකාන්තයෙන් වෛරය (තමා කෙරෙහි) බැඳ තබයි.
[භගවත්හු:]
ඉදින් මෙහි වරදෙක් නැත් නම්, ඉදින් අපරාධයෙකුත් නො වන්නේ නම්, වෛරයෝත් සංසිඳෙන්නාහු නම්, එයින් මෙහි (නිරවද්‍යචර්‍ය්‍යායෙහි) දක්‍ෂයෙක් වන්නේය.
[දෙවි:]
කවරෙකුගේ වැරදි නැද්ද? කවරෙකුගේ අපරාධ නැද්ද? කවරෙක් මුළාවට නො පැමිණේ ද? කවරෙක් හැම කල්හි සිහි ඇත්තේ ද? පණ්ඩිත ද?