1. 4. 3.
සාධු සූත්රය
33. සැවැත්නුවර–
එකල්හි මනා ඡවිවර්ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි.
මසුරු කමින් ද, ප්රමාදයෙන් ද මෙසේ දානය නො දෙනු ලැබේ. පින් කැමති (පින්පල) දන්නහු විසින් දිය යුතු වෙයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි. තව ද, මඳක් ඇති කල්හිත් දීම මැනවි.
ඇතැම්හු මඳක් ඇති කල්හිත් දෙති. ඇතැම්හු බොහෝ භෝගයෙන් සමන්වාගත වූවාහු ද නො දෙතී. මඳෙකින් දෙන ලද දක්ෂිණාව දහසක් හා සම ය යි ප්රමාණ කරණ ලදී.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීති වාක්යය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි. ස්වල්පයක් ඇති කල්හි දීමත් මැනවි. තව ද, ශ්රද්ධායෙන් දීමත් මැනවි.
දානයත් යුද්දයත් සමාන ය යි කියත්. ස්වල්ප වූත් වීරපුරුෂයෝ බොහෝ වූ බියසුල්ලන් දිනත්. ඉදින් සැදැහැත්තේ ස්වල්පයකුත් දේ ද, එයින් ම හෙ තෙමේ පරලොව සුව ඇත්තේ වේ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීතිවාක්යය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි. මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. තව ද, දැහැමින් ලද දෙයක් දත් දහම් ඇති ආර්ය්යපුද්ගලයකුට දීමත් මැනවි.
යම් සත්ත්වයෙක් උත්ථානයෙන් හා වීර්ය්යයෙන් ලැබූ වස්තු දත් දහම් ඇති ආර්ය්යපුද්ගලයෙකුට දන් දේ ද, ඒ මිනිස් තෙමේ යමයාගේ වේතරණී නිරය ඉක්මවා දිව්යස්ථානයන්ට පැමිණේ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීතිවාක්යය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි, මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. දැහැමින් ලද දෙය දත් දහම් ඇත්තකුට දීමත් මැනවි. තව ද, (දානවස්තූන් හා ප්රතිග්රාහකයන්) තෝරා ගෙණ දීමත් මැනවි.
තෝරා ගෙණ දීම භාග්යවතුන් වහන්සේ විසින් පසස්නා ලදී. මේ සත්ත්වලෝකයෙහි යම් දක්ෂිණාර්හයෝ වෙද්ද, මොවුන් විෂයෙහි දෙන ලද්දාහු සරු කෙතෙක වපුළ බිජුවට මෙන් මහත්ඵල වෙත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීතිවාක්යය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි. මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. දැහැමින් ලද දෙය දත් දහම් ඇත්තකුට දීමත් මැනවි. තෝරා දීමත් මැනවි. තව ද, ප්රාණීන් කෙරෙහි සංයමයත් (ප්රාණඝාතයෙන් වැළැක්මත්) මැනවි.
යමෙක් සත්ත්වයන් නො වෙහෙසමින් හැසිරෙන්නේ පරෝපවාද හේතුවෙන් පව් නො කෙරේ ද, එහි ලා (සත්පුරුෂයෝ) පවට බියසුල්ලාට පසසත්. (පව්කිරීමෙහී) සූරයා නො පසසත්. සත්පුරුෂයෝ උපවාදයන්ට බියෙන් පව් නො කෙරෙත් ම ය. එහෙයිනි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
භාග්යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද ද?
භාග්යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද ද?
[භගවත්හු:]
තොප සියල්ලන් විසින් පර්ය්යායයෙන් සුභාෂිත ය. වැලි දු මාගේ (වචනය) ද අසවු:
සැදැහැයෙන් දීම නන්අයුරින් පසස්නා ලදී. දානයට වඩා ධර්ම පදය හෙවත් නිර්වාණය ම ශ්රේෂ්ඨ ය. පෙර ද, ඉතා පෙර ද, නුවණැතී සත්පුරුෂයෝ නිවණ ම අවබෝධ කළාහු ය.
1. 4. 4.
නසාන්ති සූත්රය
34. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක.