1. 4. 2.
මච්ඡරී සූත්‍රය
32. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ පෙරයම ඉක්ම ගිය කල මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
මසුරුකමින් ද ප්‍රමාදයෙන් ද මෙසේ දන් නො දෙනු ලැබේ. පින් කැමති (දානඵල) දන්නහු විසින් දිය යුතු වේ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
මසුරු පුද්ගල තෙමේ යමකට ම බිය වූයේ දන් නො දේ ද, නො දෙන ඔහුට එය ම බිය වේ. මසුරු පුද්ගල තෙමේ යමකට බිය වේ ද, ඒ බඩසය ද පවස ද ඒ බාලයා ම මෙලෙව්හිත් පරලෙව්හිත් පහස්නේ ය.
එහෙයින් මසුරුමල මැඩ ලන පුද්ගල තෙමේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් පරලෙව්හි දී සතුන්ට පිහිට වේ.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
යම් කෙනෙක් මඟ කැටු වැ යනුවනට (ලදදෙය බෙදා දෙන්නාක්) සෙයින් ස්වල්පයක් ඇති කල්හිත් දෙත් ද, ඔහු (අදාන මරණයෙන්) මළවුන් අතර නො මියෙත්. මේ පැරණි දහමෙකි.
ඇතැම්හු ස්වල්පයක් ඇති කල්හිත් දෙත්. ඇතැම්හු බොහෝ භෝගයෙන් සමන්‍වාගත වූවාහු ද නො දෙත් මඳ දෙයින් දෙන ලද දක්‍ෂිණාව දහසක් (=දහසෙකින් දෙන ලද දන) හා සම ය යි ප්‍රමාණ කරණ ලදී.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථා කී ය:
අසත්පුරුෂයෝ (ස්වල්පයක් ඇති කල්හි දීම වූ) දුෂ්කර දානය දෙන දුෂ්කර (සුචරිත) ක්‍රියා කරණ (සත්පුරුෂයන්ට) අනුක්‍රියා නො කෙරෙත්. සත්පුරුෂයන්ගේ ධර්‍මය දුෂ්පූර ය. (එහෙයිනි.)
එහෙයින් සත්පුරුෂ්‍යන්ගේත් අසත්පුරුෂයන්ගේත් මෙලොවින් පරලොව යෑම එකිනෙක වෙනස් වේ. අසත්පුරුෂයෝ නිරයට යෙත්. සත්පුරුෂයෝ ස්වර්‍ගපරායණ වෙත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: භාග්‍යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද ද?
[භගවත්හු:]
තොප සියල්ලන් විසින් කරුණු විසින් මැනවින් කියන ලදී. යලි දු මගේ (වචනය) ද අසවු:
යමෙක් උඤ්ඡාවරියාවෙහි හැසිරෙන්නේ (කලවිටි ශුද්ධ කිරීම් පිදුරු පෙළීම් ආදී වශයෙන් දුක සේ ජීවිකාව පවත්වන්නේ) අඹුදරුවනුත් පෝෂණය කරමින් ස්වල්පයක් ඇති කල්හිත් දෙමින් දහම්හි හැසිරෙන්නේ ද, සහස්‍රයාග කළ ලක්‍ෂයක් දෙනකුන්ගේ ඒ යාගක්‍රියාවෝ එබඳු දිළින්දාගේ (දානක්‍රියාවන් පිළිබඳ) ශතභාගයකුත් නො අගිත්.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මහත් වූ උදාරබවට පැමිණි මේ දානය දැහැමින් සෙමෙන් දෙන ලද දානයේ වටනාකමට කුමක් හෙයින් නො පැමිණේ ද? සහස්‍රයාග කළ ලක්‍ෂයක් දෙනකුන්ගේ ඒ දානක්‍රියාවෝ එබඳු (දිළින්දාගේ) දානක්‍රියා පිළිබඳ ශතභාගයකුත් කෙසේ නම් නො අගිත් ද?
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දේවතාවාට ගාථායෙන් වදාළ සේක.
කෙනෙක් විෂම වූ (කායවාඞ්මනඃ) කර්‍මයෙහි පිහිටියාහු (මෙරමා) තළා මරා යලි ශෝක කරවා දෙත් ම ය. (කඳුළු වැකුනු මුහුණ ඇති කොට මෙරමාහට දඬුවම් කොට දුන් හෙයින්) අස්සුමුඛ නම් වූ සදණ්ඩ නම් වූ ඒ දක්‍ෂිණාව දැහැමින් සෙමෙන් දෙන ලද දානයේ වටනාකමට නො පැමිණේ. සහස්‍රයාග කළ ලක්‍ෂයක් දෙනකුගෙන් ඒ දානක්‍රියාවෝ එබඳු (දිළින්දාගේ) දානක්‍රියා පිළිබඳ ශතභාගයකුත් මෙසේ නො අගිත්.
1. 4. 3.
සාධු සූත්‍රය
33. සැවැත්නුවර–
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි.
මසුරු කමින් ද, ප්‍රමාදයෙන් ද මෙසේ දානය නො දෙනු ලැබේ. පින් කැමති (පින්පල) දන්නහු විසින් දිය යුතු වෙයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි. තව ද, මඳක් ඇති කල්හිත් දීම මැනවි.
ඇතැම්හු මඳක් ඇති කල්හිත් දෙති. ඇතැම්හු බොහෝ භෝගයෙන් සමන්‍වාගත වූවාහු ද නො දෙතී. මඳෙකින් දෙන ලද දක්‍ෂිණාව දහසක් හා සම ය යි ප්‍රමාණ කරණ ලදී.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, දීම මැනවි. ස්වල්පයක් ඇති කල්හි දීමත් මැනවි. තව ද, ශ්‍රද්ධායෙන් දීමත් මැනවි.
දානයත් යුද්දයත් සමාන ය යි කියත්. ස්වල්ප වූත් වීරපුරුෂයෝ බොහෝ වූ බියසුල්ලන් දිනත්. ඉදින් සැදැහැත්තේ ස්වල්පයකුත් දේ ද, එයින් ම හෙ තෙමේ පරලොව සුව ඇත්තේ වේ.