1. 2. 9.
කුටිකා සූත්‍රය
19. සැවැත්නුවර–
[දෙවි:]
කිම මුඹ වහන්සේට කුටියෙක් නැද්ද? කිම (මුඹ වහන්සේට) කැදලි නැද්ද? (කිම මුඹ වහන්සේට) කුලප්‍රවේණීහු නැද්ද? කිම බන්‍ධනයෙන් මිදුනෙහි ද?
[භගවත්හු:]
එකත්නෙන් මට කුටියෙක් නැත. එකත්නෙන් මට කැදලි නැත. එකත්නෙන් මට කුලප්‍රවේණීහු නැත. එකත්නෙන් මම බන්‍ධනයෙන් මිදුනෙමි.
[දෙවි:]
මම කුමක් මුඹ වහන්සේට කුටිය කොට කියම් ද? කුමක් මුඹ වහන්සේට කැදැල්ල කොට කියම් ද? කුමක් මුඹ වහන්සේට කුලප්‍රවේණිය කොට කියම් ද? මම කුමක් මුඹ වහන්සේට බන්‍ධනය කොට කියම් ද?
[භගවත්හු:]
මව මට කුටිය කොට කියහි. බිරිඳ කැදැල්ල කොට කියහි. පුත්‍රයන් කුලප්‍රවෙණි කොට කියහි. තෘෂ්ණාව බන්‍ධනය කොට කියහි.
[දෙවි:]
මැනවි, මුඹ වහන්සේට කුටියෙක් නැත. මැනවි, කැදලි නැත. මැනවි, කුලප්‍රවේණීහු නැත. මැනවි, බන්‍ධනයෙන් මිදුනෙහි යි.
1. 2. 10.
සමිද්ධි සූත්‍රය
20. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ රෑ අලුයම නැගිට ගාත්‍රයන් දෝනා පිණිස තපොදා නදිය වෙත එළඹියහ. තපෝදානදියෙහි ගාත්‍රයන් දොවා ගොඩ නැඟී ඇඟ තෙත සිඳුවමින් එක් සිවුරක් ඇති ව සිටියහ.
එකල්හි මනා පැහැ ඇති එක්තරා දෙව්දුවක් රාත්‍රිය ඉක්ම ගිය කල්හි මුළු තපෝදාව බබුළුවා ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් වෙත එළඹියා ය. එළඹ අහස්හි සිටිය ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට ගාථායෙන් කීවා ය:
මහණ, නො වළඳා සිඟයි. වළඳා නො ම සිඟයි. මහණ, වළඳා සිඟව. කාලය තා නහමක් ඉක්ම යේවා.
[සමිද්ධි:]
මම කාලය නො දනිමි. කාලය වැසුනේ නො පෙණෙයි. එහෙයින් ‘කාලය මා නහමක් ඉක්ම යේවා’යි නො වළඳා සිඟමි.
ඉක්බිති ඒ දෙව්දුව පොළොවෙහි පිහිටා ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙය කීවා ය:
මහණ, තෝ තරුණ පැවිද්දෙහි මනා කලුකෙහෙ ඇතියෙහි, සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුක්තයෙහි, කාමක්‍රීඩා නො කළ සුලුයෙහි, මහණ, මානුසික කාමයන් අනුභව කරණු මැනව. මෙලොව පස්කම් සැප හැර පියා පරලොව (කලෙකින් ලැබෙන) සැප නහමක් ලුහුබඳුව.
[සමිද්ධි:]
ඇවැත්නි, මට මෙලොව සැප හැර පිය කලෙකින් ලැබෙන සැප නො ම ලුහුබඳිමි. ඇවැත්නි, මම කලෙකින් ලැබෙන සැප හැර පියා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ. මේ ධර්‍මය තමා විසින් දැක්ක යුත්තේ ය. කල් නො යවා විපාක දෙන්නේ ය. එව, බලවයි’ කීමට සුදුසු ය. තම සිත්හි එළවා තැබීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි ලා දත යුත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ.
[දෙව්දූ:]
මහණ, කෙසේ නම් ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාසය ඇත්තෝ ය. මෙහි දෝෂයෝ බොහෝ ය.’ (කියාත්) ‘කෙසේ නම්’ මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතු ය. (කියාත්) භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාහු ද?
[සමිද්ධි:]
ඇවැත්නි, මම නවකයෙමි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙමි. මෙසස්නට අලුත පැමිණියෙමි. මම විස්තර වශයෙන් කියන්නට නො පොහොසත්මි. අර්‍හත් වූ සම්මා සම්බුදු වූ මේ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමයෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තිට ප්‍රකාශ කරණ සේක් ද? එපරිද්දෙන් එය දරවයි.