1. 2. 10.
සමිද්ධි සූත්‍රය
20. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ රෑ අලුයම නැගිට ගාත්‍රයන් දෝනා පිණිස තපොදා නදිය වෙත එළඹියහ. තපෝදානදියෙහි ගාත්‍රයන් දොවා ගොඩ නැඟී ඇඟ තෙත සිඳුවමින් එක් සිවුරක් ඇති ව සිටියහ.
එකල්හි මනා පැහැ ඇති එක්තරා දෙව්දුවක් රාත්‍රිය ඉක්ම ගිය කල්හි මුළු තපෝදාව බබුළුවා ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් වෙත එළඹියා ය. එළඹ අහස්හි සිටිය ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට ගාථායෙන් කීවා ය:
මහණ, නො වළඳා සිඟයි. වළඳා නො ම සිඟයි. මහණ, වළඳා සිඟව. කාලය තා නහමක් ඉක්ම යේවා.
[සමිද්ධි:]
මම කාලය නො දනිමි. කාලය වැසුනේ නො පෙණෙයි. එහෙයින් ‘කාලය මා නහමක් ඉක්ම යේවා’යි නො වළඳා සිඟමි.
ඉක්බිති ඒ දෙව්දුව පොළොවෙහි පිහිටා ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙය කීවා ය:
මහණ, තෝ තරුණ පැවිද්දෙහි මනා කලුකෙහෙ ඇතියෙහි, සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුක්තයෙහි, කාමක්‍රීඩා නො කළ සුලුයෙහි, මහණ, මානුසික කාමයන් අනුභව කරණු මැනව. මෙලොව පස්කම් සැප හැර පියා පරලොව (කලෙකින් ලැබෙන) සැප නහමක් ලුහුබඳුව.
[සමිද්ධි:]
ඇවැත්නි, මට මෙලොව සැප හැර පිය කලෙකින් ලැබෙන සැප නො ම ලුහුබඳිමි. ඇවැත්නි, මම කලෙකින් ලැබෙන සැප හැර පියා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ. මේ ධර්‍මය තමා විසින් දැක්ක යුත්තේ ය. කල් නො යවා විපාක දෙන්නේ ය. එව, බලවයි’ කීමට සුදුසු ය. තම සිත්හි එළවා තැබීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි ලා දත යුත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ.
[දෙව්දූ:]
මහණ, කෙසේ නම් ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාසය ඇත්තෝ ය. මෙහි දෝෂයෝ බොහෝ ය.’ (කියාත්) ‘කෙසේ නම්’ මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතු ය. (කියාත්) භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාහු ද?
[සමිද්ධි:]
ඇවැත්නි, මම නවකයෙමි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙමි. මෙසස්නට අලුත පැමිණියෙමි. මම විස්තර වශයෙන් කියන්නට නො පොහොසත්මි. අර්‍හත් වූ සම්මා සම්බුදු වූ මේ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමයෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තිට ප්‍රකාශ කරණ සේක් ද? එපරිද්දෙන් එය දරවයි.
[දෙව්දූ:]
මහණ, ඒ භාග්‍යවතුන් වහන්සේ එළඹෙන්නට සුකර නො වෙත්. අනෙක් මහේශාඛ්‍ය දේවතාවන් විසින් පිරිවරණ ලදහ. මහණ, ඉදින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරන්නහු නම් අපි දු බණ අසන්නට එන්නෙමු.
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ ඒ දෙව්දුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් සමිද්ධිස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
වහන්ස, මෙහි මම රෑ අලුයම නැගිට ගාත්‍රයන් දෝනට තපෝදාව වෙත එළඹියෙමි. තපෝදාවෙහි ගාත්‍රයන් දොවා ගෙණ ගොඩ නැගී සිරුර තෙත සිඳුවමින් එක සිවුරක් ඇති ව සිටියෙමි. වහන්ස, එකල්හි මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දෙව්දුවක් රැය ඉක්ම ගිය කල්හි මුළු තපෝදාව බබුළුවා මා වෙත එළඹියා ය. එළඹ අහස්හි සිටියා මේ ගාථාවෙන් කිවු ය:
“මහණ, නො වළඳා සිඟයි. වළඳා නො ම සිඟහි, මහණ වළඳා සිඟව. කාලය තා නහමක් ඉක්ම යේවා” යි.
වහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට ගාථායෙන් පිළිතුරු දිනිමි.
“මම කාලය නො දනිමි. කාලය වැසුනේ නො පෙණේ. එහෙයින් කාලය මා නහමක් ඉක්ම යේවා යි නො වළඳා සිඟමි.” යි.
වහන්ස, එකල්හි ඒ දෙව්දූ තොමෝ පොළොවෙහි පිහිටා මට මෙය කිවු ය: “මහණ, නුඹ වහන්සේ තරුණ පැවිදි කෙනෙකි. මනා කළුකෙහෙ ඇති කෙනෙකි, සොඳුරු යොවුනින් හා පළමු වයසින් සමන්‍වාගතයහ. කාමක්‍රීඩා නො කළ කෙනෙකි. මහණ, මානුසිකකාමයන් අනුභව කරව. මෙලොව සැප හැර පියා කලෙකින් ලැබෙන සැප නහමක් ලුහුබඳුව” යි.
වහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට මෙය කීයෙමි: “ඇවැත්නි, මට මෙලොව සැප හැර පියා කලෙකින් ලැබෙන සැප නො ම ලුහුබඳිමි. ඇවැත්නි, මම කලෙකින් ලැබෙන සැප හැර දමා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ.’ ‘මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තවුන් විසින් තම තමා කෙරෙහි ලා දත යුතු’ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.”
වහන්ස, එසේ කී කල්හි ඒ දෙව්දූ මට මෙය කිවු ය: “මහණ, කෙසේ නම් ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ. (කියාත්), කෙසේ නම් මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තවුන් විසින් තමතමන් කෙරෙහි ලා දත යුතු ය’. (කියාත්) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු දැ?” යි.
වහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට මෙය කීයෙමි: “ඇවැත්නි, මම නවකයෙමි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙමි. මෙ සසුනට අලුත පැමිණියෙක්මි. මම විස්තර වශයෙන් කියන්නට නො හැක්කෙමි. අර්‍හත් වූ සම්මාසම්බුදු වූ මේ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තට ප්‍රකාශ කරණ සේක් නම් එපරිද්දෙන් එය දරව” යි.