2. නන්‍දන වර්‍ගය
1. 2. 1.
නන්‍දන සූත්‍රය
11. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂුහු ‘පින්වතුන් වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, පෙර වූවක් කියමි. තව්තිසා වැසි එක්තරා දෙවියෙක් දිවසරන් විසින් පිරිවරණ ලදුයේ දිව්‍යපඤ්චකාම සම්පත්තියෙන් සමන්‍විත වූයේ ඉඳුරන් පිණවන්නේ ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
යම් කෙනෙක් පිරිවර ඇති තව්තිසා වැසි දෙවියන්ගේ වාසස්ථාන වූ නදුනුයන නො දකිද්ද? ඔහු සැපය නො දනිත්.
මහණෙනි, මෙසේ කී කල්හි එක්තරා දෙවියෙක් ඒ දෙවියාට ගාථාවකින් පිළිතුරු දුන්නේ ය:
බාලය, තෝ “සියලු සංස්කාරය අනිත්‍යයහ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සන්හිඳීම සැප ය” යන රහතුන් වදන ලෙස නො දන්හියි.
1. 2. 2.
නන්‍දති සූත්‍රය
12. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
පුතුන් ඇත්තේ පුතුන්ගෙන් සතුටු වෙයි. එසේ ම ගවහිමියා ගවයන්ගෙන් සතුටු වෙයි. මේ කාමෝපධීහු ම මිනිසාගේ නන්‍දනයෝ යි. යමෙක් උපධි නැත්තේ ද හෙතෙමේ නො ම සතුටු වෙයි.
[භගවත්හු:]
පුතුන් ඇත්තේ පුතුන්ගෙන් ශෝක කෙරෙයි. එසේ ම ගවහිමියා ගවයන්ගෙන් ශෝක කෙරෙයි. මේ කාමෝපධීහු ම මිනිසාගේ ශෝචනයෝයි. යමෙක් උපධි නැත්තේ ද හෙතෙමේ නො ම ශෝක කෙරේ යි.
1. 2. 3.
නත්‍ථිපුත්තසම සූත්‍රය
13. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
පුත්‍රප්‍රේමය හා සම ප්‍රේමයෙක් නැත. ගෝධනය හා සම ධනයෙක් නැත. හිරු හා සම එළියෙක් නැත. විල්හු මුහුද පරම කොට ඇත්තාහ. (මුහුද හා සම විලෙක් නැතැයි යූ සේ යි.)
[භගවත්හු:]
ආත්මප්‍රේමය හා සම ප්‍රේමයක් නැත. ධාන්‍ය හා සම ධනයෙක් නැත. ප්‍රඥාව හා සම ආලෝකයෙක් නැත. ඒකාන්තයෙන් වැස්ස පරම විලයි.
1. 2. 4.
ඛත්තිය සූත්‍රය
14. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
දෙපා ඇත්තවුන් අතුරෙන් ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය. සිවුපාවුන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨ ය. භාර්‍ය්‍යාවන් අතුරෙන් බාලකාලයෙහි පාවා ගන්නා ලද්දී ශ්‍රේෂ්ඨ ය. පුතුන් අතුරින් වැඩිමහල්ලා ශ්‍රේෂ්ඨ ය.
[භගවත්හු:]
දෙපා ඇත්තවුන් අතුරෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයහ. සිවුපාවුන් අතුරෙන් ආජානීය අශ්වයා ශ්‍රේෂ්ඨ ය. භාර්‍ය්‍යාවන් අතුරෙන් හිමියා පිණවන්නී ශ්‍රේෂ්ඨ ය. පුතුන් අතුරින් කීකරු වූයේ ශ්‍රේෂ්ඨ ය.