2. 2. 10.
කීටාගිරි සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙකැ භාග්යවතුන් වහන්සේ මහත් වූ සඟපිරිස් පිරිවරා කාසිජනපදයෙහි සැරි සරනසේක. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමැතූසේක: “මහණෙනි, මම් වූකලි රාත්රිභෝජනය හැරපියා මැ වළඳමි. මහණෙනි, රාත්රිභෝජනය හැරපියා වළඳන මම නීරෝග බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දනිමි. එව, තෙපිදු මහණෙනි, රාත්රිභෝජනය හැරපියා මැ වළඳවු. මහණෙනි, තෙපිදු රාත්රිභෝජනය හැරපියා වළඳන්නහු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දැනගන්නවු යැ. ඒ මහණහු ‘එසේ යැ වහන්සැ’යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පිළිවෙළින් කසී දනවුවෙහි සැරිසරනසේක් කීටාගිරි නම් වූ කසී දනවු වැසියන්ගේ නියම්ගමට පිළිපන්සේක. භාග්යවතුන් වහන්සේ කසීරටවැසියන්ගේ කීටාගිරි නම් වූ නියම්ගම්හි වාසය කරනසේක.
එසමයෙහි අස්සජි යැ පුනබ්බසුක යැ යන නම් ඇති මහණහු කීටාගිරියෙහි ආවාසිකයෝ වෙති. එකල්හි බොහෝ භික්ෂූහු අස්සජිපුනබ්බසුක භික්ෂූන් වෙත එළඹියාහු යැ. එළඹ අස්සජිපුනබ්බසුක භික්ෂූන්ට තෙල පවත් දැන්වූහ: “ඇවැත්නි, බුදුහු රාත්රිභෝජන හැරපියා මැ වළඳති, භික්ෂූසඞ්ඝ තෙමේ ද රාත්රිභෝජනය හැරපියා වළඳයි. ඇවැත්නි, රාත්රිභෝජනය හැරපියා වළඳන්නාහු නීරෝග බව ද නිදුක්බව ද සැහැල්ලු පැවැත්ම ද සුවවිහරණය ද දැනගන්නාහ. එව, ඇවැත්නි, තෙපිදු රාත්රිභෝජනය හැරපියා මැ වළඳවු. රාත්රිභෝජනය හැරපියා වළඳන තෙපිදු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුවවිහරණය ද දැනගන්නවු යැ. මෙසේ කී කල්හි අස්සජිපුනබ්බසුක මහණහු ඒ භික්ෂූන්ට තෙල වදන් කීහු: “ඇවැත්නි, ඇපි සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳම්හ. ඒ සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳන ඇපි නිරාබාධ බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුවවිහරණය ද දනුම්හ. අපි සාංදෘෂ්ටික වූ අනුසස් හැරපියා මතුලැබිය යුතු අනුසසට කුමක් හෙයින් දුවමෝ ද ඇපි සවස්හිදු උදෑසනදු දහවල් විකාලයෙහිදු වළඳම්හ”යි. යම් හෙයෙකින් ඒ භික්ෂූහු අස්සජිපුනබ්බසුක මහණුන් ගිවිස්වාලන්නට නො හැකි වූවාහු ද එකල්හි භාග්යවතුන් වහන්සේ කරා එළඹ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පස් වැ හුන්නාහු තෙල පවත් දැන්වූහ.
“වහන්ස, අපි මේ කීටාගිරියෙහි අස්සජිපුනබ්බසුක භික්ෂූන් වෙත එළඹ අස්සජිපුනබ්බසුක භික්ෂූන්ට තෙල පවත් දැන්වූම්හ: ‘ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ රාත්රි භෝජනය හැරපියා මැ වළඳන සේක ... සුවවිහරණය ද දන්නාසේකැ’යි. වහන්ස, මෙසේ කීකල්හි අස්සජිපුනබ්බසුක මහණහු අපට තෙල පවත් කීහ: “ඇවැත්නි, ඇපි වූකලි ... දහවල්හිදු විකාලයෙහි වළඳම්හ’යි. වහන්ස, යම් හෙයකින් අපි අස්සජිපුනබ්බසුක මහණුන් ගිවිස්වාලන්නට නො හැකි වූවමෝ ද, එකල්හි ඇපි තෙල පවත් භාග්යවතුන් වහන්සේට සැලකරම්හ’යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ එක්තරා මහණක්හු ඇමැතූසේක: “එව මහණ, තෙපි මාගේ බසින් ‘ශාස්තෘහු ආයුෂ්මත් කැඳවාලතී’ අස්සජිපුනබ්බසුක මහණුන් කැඳවාලව”යි වදාළසේක. ‘එසේ යැ වහන්සැ’යි එ මහණ භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී අස්සජිපුනබ්බසුක මහණුන් කරා එළඹ අස්සජිපුනබ්බසුක මහණුන්ට ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවනසේකැ’යි මෙ පවත් කීහ. ‘එසේ යැ ඇවැත්නි’යි අස්සජිපුනබ්බසුක භික්ෂූහු එ මහණහට පිළිවදන් දී භාග්යවතුන් වහන්සේ කරා එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් අස්සජිපුනබ්බසුක මහණුන්ට භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක.
සැබෑද මහණෙනි, බොහෝ භික්ෂූහු තොප කරා එළඹ තෙල කීවාහු ඇපි ද: “ඇවැත්නි, භාග්යවත්හු රාත්රිභෝජනය හැරපියා මැ වළඳති, භික්ෂූසඞ්ඝයා ද රාත්රිභෝජනය හැරපියා වළඳයි. තවද ඇවැත්නි, රාත්රිභෝජනය හැරපියා වළඳන්නාහු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුවවිහරණය ද දන්නාහ. එව ඇවැත්නි, තෙපිදු රාත්රිභෝජනය හැරපියා මැ වළඳව. ඇවැත්නි, තෙපිදු රාත්රිභෝජනය වළඳන්නාහු නීරෝග බව ද, නිදුක් බව ද, සැහැල්ලු පැවැතුම් ද, කායබලය ද, සුවවිහරණය ද දනිවු” යයි. මෙසේ කී කල්හි මහණෙනි, තෙපි ඒ භික්ෂූන්ට ඇවැත්නි, අපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳම්හ. ඇපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳන්නමෝ නිරාබාධ බව ද නිරාතඞ්ක බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුඛවිහරණය ද දනුම්හ. අපි කුමක් හෙයින් සාන්දෘෂ්ටික වූ සුවය හැරපියා කාලික වූ සුවය අනුධාවනය කරමෝ ද අපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳම්හ’යි මෙසේ කීවහු දැ”යි, එසේ යැ වහන්ස.
කිම මහණෙනි, තෙපි මෙසේ දහම් දෙසනලද විරූ දන්නවු ද? “මේ පුරුෂපුද්ගල යම්කිසි සුවයක් හෝ දුකක් හෝ නො දුක් නො සුවයක් හෝ විඳී ද, ඔහුට අකුසල් දහම්හු පිරිහෙති, කුසල්දහම්හු වැඩෙති”යයි. වහන්ස, තෙල නැත් මැ යැ. මහණෙනි, තෙපි මා විසින් මෙසේ දහම් දෙසනලද විරූ දන්නහු නො ද? මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල් දහම්හු වැඩෙති, කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වු සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල දහම්හු පිරිහෙති, කුසල් දහම්හු වැඩෙත්. මෙලොවැ මෙබඳු දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු වැඩෙති, කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල් දහම්හු පිරිහෙති, කුසල් දහම්හු වැඩෙත්. මෙලොවැ මෙබඳු වූ නො දුක් නො සුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු වැඩෙති. කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වූ නො දුක් නො සුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති. කුසලදහම්හු වැඩෙත්”යයි. එසේ යැ වහන්ස.