2. 1. 10.
අපණ්ණක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනවියෙහි (අතුරිත චාරිකාවෙන්) සැරිසරන සේක. මහත් බික්සඟුන් සමග කොසොල් දනවු වැසියන්ගේ සාලා නම් බමුණුගම කරා වැඩිසේක. සාලා ගම් වැසි බමුණු ගැහැවියෝ (මෙසේ) ඇසුහූ මැ යැ: භවත්නි සැහැකුලයෙන් පැවිදි වූ සැහැකුල පුත් මහණ ගොයුම්හු කොසොල් දනවියෙහි සැරිසරන සේක් මහත් බික් සඟුන් සමග සාලා බමුණුගමට පැමිණියහ. ඒ භගවත් මහණ ගොයුම්හුගේ මෙසේ කල්‍යාණ වූ කීර්තිශබ්දයෙක් උස් වැ නැඟිණ; (කෙසේ යැ:) මේ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථී දෑ යැ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ’යි. ඒ මහණ ගොයුම්හු දෙවියන් සියො මරුන් සියො බඹුන් සියො මෙලොව තදන්‍ය දෙවිමිනිසුන් සියො ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට දනිත්. ඔබ ආදි කල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ කේවල පරිපූර්‍ණ වූ චතුස්සත්‍ය ධර්‍මය දෙසත්. පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති’යි කියායි. එබඳු රහතුන්ගේ දර්‍ශනය මැනැවැ’යි.
එසඳ සාලා ගම්වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සම්මෝදනයට නිසි කාලාන්තරයෙහි සිහි කරනට නිසි කථාව කොට නිමවා එකත්පසෙකැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි නමා එකත්පසෙකැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි නම්ගොත් අස්වා එකත් පසෙක හුන්හ. කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත් පසෙකැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පසෙකැ හුන් සාලා ගම්වැසි බමුණුගැහැවියනට තෙල වදාළසේක: ගැහැවියෙනි, යම් ශාස්තෘවක්හු කෙරෙහි තොප විසින් ආකාරවත්, (සහේතුක) ශ්‍රද්ධා ලබන ලද ද එබඳු මනාප වූ යම් මැ ශාස්තෘ කෙනෙක් ඇද්දැ’යි. වහන්ස, යම් ශාස්තෘවක්හු කෙරෙහි අප විසින් ආකාරවත් ශ්‍රද්ධා ලබන ලද ද එබඳු මනවඩන යම් මැ ශාස්තෘ කෙනෙක් අපට නැතැ’යි. ගැහැවියෙනි, මනවඩන ශාස්තෘ කෙනකුන් නො ලබන තොප විසින් මේ අපණ්ණක ධර්‍මය මොනොවට ගන්නා ලද්දේ මොනොවට සමාදන් කරන ලද්දේ වේ ද, හේ තොපට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වේ යයි.
ගැහැවියෙනි, අපණ්ණක දහම කවරේ යැ යත්: ගැහැවියෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත: ‘දුන් දැයෙහි විපාක නැත. යාග විපාක නැත. හෝමයෙහි විපාක නැත. සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොවෙක් නැත, පරලොවෙක් නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න එබඳු මහණ-බමුණු කෙනෙක් නැත කියා යි. ගැහැවියෙනි,
ඒ මහණ-බමුණන් අතුරෙන් ඇතැම් මහණ-බමුණු කෙනෙක් ඍජු විරුද්ධවාද ඇත්තාහු ද ඔහු මෙසේ කියත්: දානවිපාක ඇත, යාග විපාක ඇත, හෝමවිපාක ඇත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙලෝ පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඕපපාතික සත්ත්‍වයෝ ඇත, මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරන සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න මහණ-බමුණෝ ඇත’ කියායි. ගහවියෙනි, ඒ කෙසේ හඟනාව? මේ මහණ-බමුණෝ උනුනට ඍජු විරුද්ධවාද ඇත්තාහු නො? වහන්ස එසේ යැ.
ගැහැවියෙනි, එහිලා මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ-බමුණු කෙනෙක් ඇද්ද (කෙබඳු වාද යැ යත්:) දානවිපාක නැත, යාග විපාක නැත, හෝම විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, මෙලොව හා පරලොව තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරන සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ-බමුණෝ නැත යන වාද යි. උනට තෙල කැමැති වියයුතු යි: යම් මේ කාය සුචරිතයෙක්, වාක් සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද මෙ තුන් කුසල් දහම් හැරපියා යම් මේ කාය දුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනඃදුශ්චරිතයෙක් ඇද්ද මෙ තුන් අකුසල් දහම් සමාදාන වශයෙන් ගෙන පවත්නාහ, යනු යි. ඒ කවර හෙයින යත්: ඒ භවත් මහණබමුණෝ අකුශලධර්‍මයන්ගේ ආදීනව ලමු බව කෙලෙසීම නො දක්නාහ කුශලධර්‍මයන්ගේ ද අකුශලයෙන් නික්මීමෙහි අනුසස් ද එහි ව්‍යවදාන පක්‍ෂය ද නො දක්නාහ. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි ඔහුට දෘෂ්ටියෙක් වෙයි. ඒ දෘෂ්ටිය ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ මිථ්‍යා සංකල්පයෙක. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි බෙණෙයි. ඒ ඔහුගේ මිථ්‍යාවාචා යැ. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි කියා ද (එහෙයින්) පරලොව දන්නා යම් රහත් කෙනෙක් ඇද්ද උනට මෙ තෙම විරුද්ධවාද කෙරෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි මෙරමා හඟවා ද, එහෙයින් ඒ මොහුගේ අභූතධර්‍මසංඥාප්ති වෙයි. ඒ අභූත ධර්‍මසංඥාපනයෙන් තමා ඔසවයි, මෙරමා හෙලා දකී. මෙසේ කැලැ මැ ඔහුගේ සුශීලභාවය ප්‍රහීණ වෙයි, දුශ්ශීලභාවය තුළම සිටියේ වෙයි. මෙ මිථ්‍යාදෘෂ්ටි ද මිථ්‍යාසංකල්ප මිථ්‍යාවාචා ආර්‍ය්‍යයනට ප්‍රත්‍යනීක හා අභූතධර්‍ම සංඥාපන ආත්මොත්කර්‍ෂණ පරවම්භන දැ යි මෙසේ මොහුට මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් මේ අනේක පාපක අකුශලධර්‍මයෝ පහළ වෙත්.
ගැහැවියෙනි, එහිලා විඥ පුරුෂ තෙමේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. ඉදින් පරලොව නැත් නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගල කායභේදයෙන් මතු තමා ස්වස්ති කෙරෙයි. ඉදින් පරලොව ඇත් නම් මෙසේ මේ පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි. පරලෝ වේවයි කීහු නම් ඒ භවත් මහණ බමුණන්ගේ වචන සබා වෙයි. වැළිත් මේ භවත් පුරුෂ පුද්ගල ඉහාත්මයෙහි මැ ගර්‍හණීය වෙයි. පුරුෂ පුද්ගල දුශ්ශීල යැ මිථ්‍යාදෘෂ්ටික යැ නාස්තිකවාද ඇතියෙක කියා යි. ඉදින් පරලෝ ඇත්තේ මැ නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලහට දෙලොව මැ පරාජයග්‍රාහ වෙයි: යම් හෙයෙකින් ඉහාත්මයෙහි මැ විඥයන් විසින් ගර්‍හණීය වේ ද, යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණේ ද එහෙයිනි. මෙසේ ඔහු විසින් මේ අපණ්ණක ධර්‍මය වරදවා ගන්නා ලද්දේ නපුරු කොට ගන්නා ලද්දේ සමාදින්න වූයේ එක් කොටසක් සිය වාදය බැසගෙන සිටී. කුසල් කරුණ හැරපිය යි.