1. 5. 9.
බ්රහ්මනිමන්තනික සූත්රය
1. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භගවත්හු සැවැත් නුවර අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද දෙව්රම් වෙහෙර වැඩ වාසය කෙරෙති. එ සමයෙහි භගවත්හු ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’යි භගවත්හට පිළිවදන් දුන්හ. භගවත්හු තෙල වදාළහ:
2. මහණෙනි, මම එක් සමයෙක උක්කට්ඨා නම් නුවර සුභග වනයෙහි සාලරාජ මූලයෙහි වාස කෙරෙමි. මහණෙනි, ඒ සමයෙහි බක නම් බඹහට මෙබඳු පවිටු ශාශ්වත දෘෂ්ටියෙක් උපන: මේ බ්රහ්මස්ථානය (බඹලොව) නිත්යය, මේ ධ්රැවය (ස්ථිරය), මේ ශාශ්වතය (සදාවිද්යාමානය), මේ කේවලය (අඛණ්ඩය), මේ අවවන (ව්යය නොවන) ස්වභාවය. මේ බඹලොව (කිසිවෙක්) උපදනුයේ වේවයි, දිරනුයේ වේ වයි, මියනුයේ වේව යි, ච්යුත වනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මේ බඹලොව හැර අනෙක් නිස්සරණයෙක් (දුකින් නික්මීමෙක්) ඇත්තේ ද නොවෙ’යි කියා යි. මහණෙනි, එසඳ මම සිය සිතින් බක බඹහු අදහස් දැන බලවත් පුරුෂයකු වක්කළ අත් දික් කරනු සෙයින්, දික්කළ අත් වක් කරනු සෙයින් උක්කට්ඨා නුවර සුභගවනයෙහි සාලරාජ මූලයෙහි අතුරුදහන් වූයෙම් එ බඹලොව පහළ වීමි.
3. මහණෙනි, බකබ්රාහ්මමා එනුවා දුරදීම දිට. දැක මට තෙලබස් කී: “නිදුකාණෙනි, මොබ එව. නිදුකාණෙනි, ස්වාගත ය. (මෙහි ඊම යෙහෙකි.) නිදුකාණෙනි, මෙහි එනු පිණිස දිගු කලෙකින් මේ අයුරුකෙළෙහි. නිදුකාණෙනි, මේ බ්රහ්මස්ථානය නිත්යය, මේ ධ්රැවය, මේ ශාශ්වතය, මේ කේවලය, මේ අවවන ස්වභාවය. මේ බඹලොව උපදනුයේ වේවයි, දිරනුයේ වේවයි, මියනුයේ වේව යි, චුත වනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මෙයින් මතු අනෙක් නිඃසරණයෙක් ඇත්තේ ද නොවෙ”යි කී.
4. මහණෙනි, මෙසේ කී කළ මම බක බ්රහ්ම හට තෙල බස කීමි: මේ බඹ අනිත්ය වූවක් ම නිත්ය ය යි කියා ද, අධ්රැව වූවක් ම ධ්රැවයයි කියා ද, අශාශ්වත වූවක් ම ශාශ්වතයයි කියා ද, අකේවල වූවක් ම කේවල යයි කියා ද, වවන ස්වභාව ඇතියක් ම අවවන ස්වභාවයයි කියා ද, යම බඹලොවෙක දෙනුයෙත් දිරනුයේත් මියනුයේත් ච්යුතවනුයේත් පහළ වනුයේත් වේ ද, මෙහි නොදෙනුයේත් නොදිරනුයේත් නොමියනුයේත් නොපහළ වනුයේත් වේ ය යි. ඒ බඹලොව ගෙන එසේ කියා ද, මින් මතු (මෙය හැර) අන් නිස්සරණ ඇති ද මින්මතු අන් නිස්සරණ නැතියි කියා ද, භවත්නි, එහෙයින් මේ බක බඹ අවිද්යාගතයෙක් ම ය. භවත්නි, මේ බක බඹ අඥානයෙක් ම ය කියා යි.
5. මහණෙනි, එකල පවිටු මර එක්තරා බ්රහ්මපාරිෂද්ය බඹකු සිරුරෙහි ආවිෂ්ට ව මට තෙල බස් කී: “මහණ, මහණ, තෙල බඹහට නින්දා නො කර, තෙල බඹහට නින්දා නො කර. මහණ, තෙල බඹ මහබඹය. හැම බඹුන් අභිභවයි (මැඩලයි). තෙමේ අනභිභුතය. ඒකාන්තයෙන් සියල්ල දකිනේ ය. (හැම දෙනා) තම වසඟයෙහි පවත්වයි. ඊශ්වරය, (ලෝකයෙහි) කතෘය, නිර්මාතෘය, (ලෝකයට) උත්තමය. (තෝ ක්ෂිත්රිය වෙව, තෝ බ්රාහ්මණ වෙව යනාදීන්) ප්රජාව සකස් කරන්නේ ය. වශීය, උපන් සත්වයන්ගේ ද උපදනා සත්වයන්ගේ ද පිතෘය.”
මහණ, තට පූර්වයෙහි ද ලෝකයෙහි පෘථිවිය (අනිත්යය ආදීන්) ගරහන පෘථිවිය පිළිකුල් කරන, ආපය ගරහන ආපය පිළිකුල් කරන, තේජස් ගරහන, තේජස් පිළිකුල් කරන, වායු ගරහන වායු පිළිකුල් කරන, සත්ත්වයන් ගරහන, සත්ත්වයන් පිළිකුල් කරන, දෙවියන් ගරහන දෙවියන් පිළිකුල් කරන, මරහු ගරහන මරහු පිළිකුල් කරන, බඹුන් ගරහන බඹුන් පිල්කුල් කරන මහණ බමුණෝ වූහ. ඔහු කය බිඳීමෙන් ප්රාණෝපච්ඡේදයෙන් හීනකාය සඞ්ඛ්යාත අපායෙහි උපන්හ. මහණ තට පෙරත් ලෝකයෙහි පෘථිවිය පසස්නා පෘථිවිය (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අභිනන්දන කරන, ආපය පසස්නා ආපය අභිනන්දන කරන, තේජස් පසස්නා, තේජස් අභිනන්දන කරන, වායු පසස්නා වායු අභිනන්දන කරන, සතුන් පසස්නා, සතුන් අභිනන්දන කරන, දෙවියන් පසස්නා දෙවියන් අභිනන්දන කරන, මරහු පසස්නා මරහු අභිනන්දන කරන, බඹුන් පසස්නා බඹුන් අභිනන්දන කරන මහණ බමුණෝ වූහ. ඔහු කායභේදයෙන් ප්රාණෝපච්ඡේදයෙන් ප්රණීතකාය සඞ්ඛ්යාත බ්රහ්මලෝකයෙහි උපන්හ.
මහණ, එබැවින් මම තට මෙසේ කියමි: නිදුකාණෙනි, මහාබඹ තට යමක් කියා නම්, තා එ කීවා කරන්නේය. තා බඹහු කීවා නො ඉක්මවන්නේය. මහණ, ඉදින් තෝ බඹබස් ඉක්මෙහි නම් පුරුෂයෙකු සිරිකත ගෙට වදුත් දණ්ඩෙන් (සිවුරියන් මුගුරින්) පලවා පියන්නාක් වැන්න. තවද මහණ, නිරැහෙබෙක හෙන පුරුෂයකු අතිනුදු පයිනුදු ගත මනා පිහිටනු මනා අධාරස්ථාන වළහාලන්නාක් වැන්න. මහණ තට ද මේ කරුණ මෙබඳුම වන්නේය. නිදුකාණෙනි, එබැවින් තා බඹ තට යම් ම දැයක් කියා නම්, ඒ කීවාම කරන්නේය, තා බඹ කීවා නො ඉක්මවන්නේය. මහණ, තො මෙහි රැස්ව හුන් (සිරියෙන් බබලන) බඹපිරිස් නො දකින්නෙහිදැයි. මහණෙනි, මෙසේ පවිටු මර මා බඹපිරිසට එළවාලීය. (තො ද බ්රහ්මගරුක නම් බඹඉසුරු ලබනේ යයි කියූ සේය.)
6. මහණෙනි, මෙසේ කීකල මම අයස උදාකරන පාපී වූ මරුහට තෙල බස් කීමි: “මාරය, මම තා දන්මි. මා තා නොහඳුනති යි තෝ නහමක් සිත. පවිට, තෝ මාරයෙහි. පවිට, මෙහි යම් බඹෙක් ඇද්ද, යම් බඹ පිරිසෙක් ඇද්ද, යම්ම බඹපිරිසැවූවෝ ඇද්ද, ඔහු හැම තා හස්තගතයහ. ඔහු හැම තා වසංගතයහ. ‘මෙ තෙමේ ද මා හස්තගතය, මෙ තෙමේ ද මා වසඟය’ යනුදු තට මෙසේ සිතෙයි. පවිට, මම තා හස්තගතයෙම් නො ම වෙමි. තා වසඟයෙම් නො ම වෙමි” කියායි.