1. 5. 10.
මාරතජ්ජනිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලද: එක්කෙලෙක මහමුගලන් මහතෙරහු භගුරට සුංසුමාරගිරි නුවර මුවළැව්වන මිහිඟගස් ඇති උයන්හි වාස කෙරෙති.
2. එකල මහමුගලන් මහතෙරණුවෝ අභ්යාවකාශයෙහි සක්මන් කෙරෙති. එවිට පවිටු මාරයා මහමුගලන් මහතෙරණුවන්ගේ කුක්ෂිගත ව පක්වාශයට පිවිසියේය. එසඳ මහමුගලන් මහතෙරණුවනට තෙල සිත්වී: “කිම මා කුස් අතිහාරයක් වැනිය. මෑබත් වළඳ කළහුගේ කුස වැනිය. නො හොත් මෑ ඇට පිරූ පහියක් (පසුම්බියක්) වනැ”යි. ඉක්බිති මහමුගලන් මහතෙරණුවෝ සක්මනින් බැස වෙහෙරට පිවිස පැන්වූ අස්නෙහි හුන්හ. හිඳ මහමුගලන් මහතෙරණුවෝ තමා කෙරෙහි නුවණින් මෙනෙහි කළහ.
3. මහමුගලන් මහතෙරහු පවිටුමරහු කුසට වැද පක්වාශයට පිවිසියහු දුටහ. දැක පවිටුමරහට තෙල බස් කීහ: “පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගතශ්රාවක නොපෙළා. තට දීර්ඝරාත්රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නොවේවා” කියායි.
4. එසඳ පවිටු මරහට තෙල සිත්වී: “මේ මහණ මා නොහඳුනමින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගත ශ්රාවක නොපෙළා. තට දීර්ඝරාත්රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නො වේවා’යි. තෙල මහණහුගේ ඒ ශාස්තෲහු ද මා වහා නො ම හඳුනති. මේ ශ්රාවකයා කෙසේ නම් මා හඳුනා ගත්තේ වේ ද” කියායි.
5. ඉක්බිති මහමුගලන් මහතෙරහු පවිටු මරහට තෙල බස් කීහ: “පවිට, මම මෙතන්හි ලා තා හඳුනමි. තෝ ‘මා නොහඳුනති’ නොසිත, තෝ මරෙහි. පවිට, තට මෙසේ සිත් වෙයි: “මේ මහණ මා නොහඳුනමින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නො පෙළා, තථාගතශ්රාවක නො පෙළා. තට දීර්ඝරාත්රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නොවේවා’යි. තෙල මහණහුගේ ඒ ශාස්තෲහු ද මා වහා නො ම හඳුනති. මේ ශ්රාවකයා කෙසේ නම් මා හඳුනා ගත්තේ වේ ද” කියායි.
6. එසඳ පවිටු මරුහට තෙල සිත්වී: “මේ මහණ මා දන්මින් ම දක්මින් ම මෙසේ කියයි: පවිට, නික්මයා, පවිට නික්මයා. තථාගතයන් නො පෙළා. තථාගතශ්රාවක නොපෙළා. තට දීර්ඝරාත්රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නො වේවා”යි. එසඳ පවිටු මර මහ මුගලන් මහතෙරුන්ගේ මුවින් නැගී (පන්සලෙන් බැහැර) කවුළුදොර ළඟ සිටගත.
7. මහමුගලන් මහතෙරහු පවිටු මර කවුළුදොරෙහි සිටියහු දුටහ. දැක පවිටු මරහට තෙල කීහ: “පවිට, මෙහිදු මම තා දක්මි. තෝ ‘මා නොහඳුනති’යි නො සිත. පවිට, තෙල තෝ කවුළුදොර සිටියෙහි නො.”
8. පවිට, පෙර වූවිරී දැයක් කියමි: මම දුසී නම් මර වීමි. මාගේ බින් කාළී නම. තෝ ඇයගේ පුත් වූයෙහි. තෝ (එකල) මාගේ බෑනෙහි. පවිට, එකල අර්හත් සම්යක්සම්බුද්ධ කකුසන්ධ තථාගතයන් වහන්සේ ලොව පහළ වූහ. පවිට, අර්හත් සම්යක්සම්බුද්ධ කකුසන්ධ තථාගතයන් වහන්සේට අග්ර භද්රයූග වූ විධුර-සඤ්ජීව නම් ශ්රාවකයුග්මයෙක් වී. පවිට, අර්හත් සම්යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේට යම් පමණ ශ්රාවකයෝ වූහු ද, ධර්මදේශනායෙහි ලා ආයුෂ්මත් විධුර මහතෙරණුවන් හා සමසම ව සිටුනා කිසිදු සව්වෙක් නොවී. පවිට, මේ හේතුවින් ආයුෂ්මත් විධුරතෙරණුවනට විධුර ය, විධුර යැ යි (-විගතධුර ය, අන්යයන් හා අසම ය යන) අන්වර්ත්ථසංඥා උපන.
පවිට, ආයුෂ්මත් සඤ්ජීව තෙරණුවෝ අරණ්යගත වුව ද, වෘක්ෂමූලගත වුව ද, ශුන්යාගාර ගත වුව ද, නිදුකින් ම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිති. පවිට, පෙර වූවක් කියමි: ආයුෂ්මත් සඤ්ජීව තෙරණුවෝ එක්තරා ගසක් මුල සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන් ව හුන්හ. පවිට, ගෙරි රක්නෝද, එළුබටෙළු රක්නාහු ද, සීසානාහු ද මගබැසයන්නාහු සඤ්ජීවතෙරණුවන් එක්තරා ගසක්මුල සඤ්ඤාවේදයිතනිරෝධයට සමවැද හුන්නවුන් දුටහ. දැක ඔවුනට මෙසේ සිත් වී: “භවත්නි, ආශ්චර්ය්යය, භවත්නි, අද්භූතය, මේ මහණ හුන්වන ම කලුරිය කෙළේය. එයින් උන් දවම්හ” කියායි. පවිට, ඉක්බිති ගෝපාලයෝ ද පශුපාලයෝ ද කර්ෂකයෝ ද යන ඒ මගියෝ තණ දර හා ගොම එක්රැස් කොට සඤ්ජීව තෙරණුවන්ගේ කය වටා සෑයක් බැඳ ගිනි ලා ගියහ. පවිට, එසඳ සඤ්ජීව තෙරණුවෝ එරැය ඇවෑමෙන් ඒ සමවතින් නැගී සිවුරු පොළාපියා පෙරවරු හැඳපෙරෙව පා සිවුරු ගෙන ගමට පිඬු පිණිස පිවිසියහ. පවිට, ගොපල්ලො ද පසුපල්ලෝ ද සීසානුවෝ ද යන ඒ මගීහු සඤ්ජීව තෙරණුවන් පිඬු පිණිස වදනවුන් දුටහ. දැකීමෙන් ඔවුනට මෙසේ සිත් වී: “භවත්නි, ඒකාන්තයෙන් අසිරි ය, භවත්නි, ඒකාන්තයෙන් අද්භූත ය මේ මහණ හුන්වන ම මළේ ය. හේ නැවත මැනැවින් දිවි ලද” කියායි. පවිට, මේ හේතුවින් සඤ්ජීව තෙරණුවනට සඤ්ජීව ය, සඤ්ජීව යැයි අන්වර්ත්ථසංඥා පහළ විය.