1. 5. 8.
කෝසම්බිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක්හි භගවත්හු කොසැඹෑ නුවර ගොසසිටුහු කළ ඝෝසිතාරාමයෙහි වැඩවාස කෙරෙති. එසමයෙහි කොසැඹෑයෙහි භික්‍ෂූහු හටගත් කලහපූර්‍වභාග සටන් ඇතියෝ, හටගත් (හස්තපරාමර්‍ෂ-පාත්‍රචීවරනීහරණාදි) කලහ ඇතියෝ, පැමිණි විරුද්ධවාද ඇතියෝ, උනුන් තෙපුල් සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු (අර්‍ත්‍ථ හා කාරණ හා දක්වා) උනුන් නො ම හඟවත්. (ඉදින් හඟවන්නට නිසි වුව ද) සංඥප්තියට (හඟනට) නො එළඹෙති. (දන්නට නො කැමැති වෙති.) උනුන් නො ම සිතවත්. සිතීමට නො එළඹෙති.
2. එක්බිති අන්‍යතර (නොපාළ) මහණෙක් භගවත්හු කරා එළඹිණ. එළඹ භගවත්හු සකසා වැඳ එකත්පස් ව හින. එකත් පස් ව හුන් ඒ මහණ භගවත් හට තෙල සැළකෙළේ: “වහන්ස, කොසැඹෑ නුවර නිවැසි භික්‍ෂූහු උපන් ඩබර ඇත්තාහු, (හස්තපරාමර්‍ෂාදි විසින්) උපන් මුදුන්පත් කලහ ඇත්තාහු, විරුද්ධවාදයට ගියාහු, උනුන් මුව සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු උනුන් නො ම හඟවත්. සංඥප්තියට නො වැටෙති. උනුන් නොම සිතවති. සිතීමට නො වැටෙති” කියායි.
3. එසඳ භගවත්හු එක්තරා මහණකු ඇමැතුසේක. “මහණ, තො එව ‘ශාස්තෲන් වහන්සේ ආවතුන් අමතන සේකැ’යි මා බසින් ඒ භික්‍ෂූන් අමතුව” යි වදාළෝ. ‘වහන්ස, එසේයැ’ යි එ මහණ භගවත්හට පිළිවදන් දී එ මහණුන් කරා එළඹියේය. එළඹ එ මහණුන්හට තෙල කී: “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් අමතන සේකැ” යි. ‘ඇවත එසේ යැ’ යි එ මහණහු එ මහණහට පිළිවදන් දී භගවත්හු කරා එළඹියහ. එළඹ භගවත්හු සකසා වැඳ එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් එ මහණුන්ට භගවත්හු තෙල බස් වදාළසේක: “සැබැව? මහණෙනි’ තෙපි උපන් ඩබර ඇති ව උපන් මුදුන්පත් කලහ ඇති ව විවාදාපන්න ව අන්‍යෝන්‍යයන් මුවඅඩයටියෙන් විදුනහු වාස කරව? තෙපි උනුන් නොම හඟවනු ව? ගඟනට නොයන්නාව? උනුන් නොම සිතවන්නාව? සිතන්නට නො යන්නාව?”යි. ‘වහන්ස, එසේ ය’යි සැළ කළෝ.
4. මහණෙනි, එ කිසේ හඟනාව? තෙපි යම් දවසෙක උපන් කලහාරම්භ ඇති ව උපන් කලහ ඇතිව අවන් විරුද්ධවාද ඇති ව උනුන් මුවතෙබින් විදුනහු වාස කරහු නම්, එදවස් තොප තුළ සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙත්සහගිය කායකර්‍ම එළවිණි ද, සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නො හමුවෙහිත් මෙත් සහගිය වාක්‍කර්‍ම එළවිණි ද, සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙත්සහගිය මනඃකර්‍ම එළවිණි දැයි පුළුවුත්සේක. “වහන්ස, තෙල නො වේ මයැ” යි පිළිවදන් දුන්හු.
“මහණෙනි, මෙසෙයින් තෙපි යම් දිනෙක හණඩනජාත ව කලහ ජාත ව විවාදපනනව අන්‍යෝන්‍යයන් මුවසැතින් විදුමින් වාස කරවු නම්, එදින තොප තුළ සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු මෛත්‍රීමය කායකර්‍ම නො ම එළවිණ. සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු මෛත්‍රීමය වාක්‍කර්‍ම නො එළවිණ. සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෛත්‍රීමය මනඃකර්‍ම නො එළවිණ. කිමෙක, මෝඝ පුරුෂයෙනි, එබැවින් තෙපි කුමක් දන්මින් කුමක් දක්මින් භණ්ඩන ජාත ව කලහජාත ව විවාදපන්නව උනුන් මුව සැතින් විදුමින් වාස කරන්නාව? තෙපි උනුන් නො ම හඟවන්නාව? හඟනට නො එන්නාව? උනුන් නො ම සිතවන්නාව? සිතන්නට නො එන්නාව? මෝඝපුරුෂයෙනි, එකරුණ තොපට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ යයි වදාළෝ.
5. එක්බිති භගවත්හු මහණුන් ඇමැතුසේක. මහණෙනි, සිහිකට යුතු, (සබ්‍රම්සරුන්ට) ප්‍රිය කරන, ගරු කරන මේ දහම්හු සදෙනෙක් සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙති. කවර සදෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු කායකර්‍ම එළඹසිටියේ වේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (1)
තවද මහණෙනි, ඉන් මතුදු, මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු වාක්කර්‍ම එළඹ සිටියේ වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (2)
තවද මහණෙනි, ඉන් මතුදු, මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු මනඃකර්‍ම එළඹසිටියේ වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (3)
තවද මහණෙනි, ඉන් මතුදු, මහණෙක් යටතින් පාත්‍රපර්‍ය්‍යාපන්නමාත්‍ර වේවයි, දැහැමි වූ දැහැමින් ලත් යම් ලාභ කෙනෙක් ඇද්ද, එවන් ලාභයන් (ආමිෂ විසින් වේවයි, පුද්ගල විසින් වේවයි) ප්‍රතිවිභක්ත නො කොට (මෙ පමණක් දෙමි, මෙ පමණක් නො දෙමි, අසුවල් තැනට දෙමි, අසුවල් තැනට නො දෙමි යි මෙසේ සිතින් නොබෙදා) වළඳ කරනසුලු වේ ද, සිල්වතුන් හා සබ්‍රම්සරුන් හා සාධාරණ කොට වළඳ කරනසුලු වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (4)